අවසරයකින් තොරව රාජ්ය දේපොළ කඩා බිඳ දැමීමක් සම්බන්ධව අමාත්ය එස්.බී. දිසානායක මහතාගේ පුත්රයෙකුට එරෙහිව නීති මගින් ක්රියා කිරීමට තෙල් සංස්ථාව නීතිපති උපදෙස් පතා ඇත.
මෙකී ඇමැති පුත්රයා රාජ්ය දේපොළ විනාශ කිරීමක් කර ඇතැයි මහනුවර, ගලහ පොලිසියටද හිටපු වනිතා කටයුතු කැබිනට් අමාත්ය හේමා රත්නායක මහත්මියගේ පුත්රයා වන සේනාධී රත්නායක මහතා විසින් ඉකුත් සතියේ පැමිණිලි කර තිබේ.
ඔහු තෙල් සංස්ථාවේ මධ්යම පළාත භාර ප්රාදේශීයව කළමනාකාරවරයා ය.
මධ්යම පළාත භාර ප්රාදේශීය කළමනාකරුගේ බල ප්රදේශයේ පිහිටි ගලහ ඉන්ධන පිරවුම්හල තෙල් සංස්ථාවෙන් බදුගත් මුත්තුසාමි නමැති ව්යාපාරිකයෙකු එය නැවත සංස්ථාවට භාරදීමෙන් පසු බදුගෙන ඇත්තේ අදාළ ඇමැති පුත්රයා විසිනි.
සංස්ථාව සතු දේපොළක් වන ගලහ තෙල් පිරවුම්හල අදාළ ඇමැති පුතා මිලදීගත් පසුව බලහත්කාරයෙන් සංස්ථා පිරවුම්හල පිහිටි ගොඩනැගිලි කඩා ඉවත් කර එහි තිබූ භාණ්ඩ අස්ථානගත කර ඇති බවත් සංස්ථාවේ අනුමැතියකින් තොරව භූගත ටැංකි සවිකර නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත් ප්රාදේශීය කළමනාකරු විසින් තෙල් සංස්ථාවේ සභාපති ටී.බී. ජයසිංහ මහතා වෙත පැමිණිලි කර තිබිණි. ඉන්පසුව සංස්ථා සභාපතිගේ උපදෙස් මත ගලහ පොලිසියේදී මේ සම්බන්ධව පැමිණිල්ලක් කර ඇත.
මේ අනුව තෙල් සංස්ථාව මීට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් පතා තිබේ.
ගලහ ප්රදේශයේ වූ සංස්ථාව සතු මෙම ඉන්ධන පිරවුම්හලට අදාළ ඉඩමක තවත් පර්චස් දහයක කොටසක් එක්කර ඇති බවත් එම ඉඩම අනවසරයෙන් ලබාගත් ඔප්පු නැති රජයේ ඉඩමක් බවත් තෙල් සංස්ථාව කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
රජයේ දේපොළ කඩා බිඳ දැමීම සම්බන්ධව ගලහ පොලිසියට පැමිණිලි කළද පොලිසියෙන් ඒ සම්බන්ධව නිසි විමර්ශනයක් කර නැතැයි තෙල් සංස්ථා බලධාරීහු පෙන්වා දෙති.
දේශපාලන බලය උපයෝගී කරමින් අදාළ ඇමැති පුතා ගලහ තෙල් පිරවුම්හල ලබාගත් අයුරෙන් මාතලේ නගරයේ වැඩිම අලෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල හිමි කැනඩාවේ පදිංචි වෛද්යවරයෙකු විසින් බදු ගෙන තිබුණු පිරවුම්හලක් වත්මන් රජයේ ප්රබල ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි පවසන අයෙකු මෑතකදී බදු ගෙන ඇති බවද වාර්තා වේ.









