“කොරෝනා පාලනය කිරිමේ එන්නත්කරණය පටන් ගත්තේ පැණිය, මුට්ටිය අරගෙන ගිහින් අන්තිමටම එන්නත්කරණය ආවේ. විද්යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා කිව්වට ඒ තුළ තියෙන්නෙත් අවිද්යාව. ඕනෑම ව්යසනයකින් හම්බ කරගන්න එක ආණඩුවේ ඇමති මණ්ඩලයේ මූලික අරමුණ වෙලා. මේක කොල්ල කල්ලියකගේ පාලනයක් බවට පත්වී තිබෙනවා. ව්යසනයක් පවා තමන්ට හම්බ කරගැනීමේ මාර්ගයක් විදිහට යොදා ගන්නවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්ය හමුව අමතමිණි.
මෙහිදී ජාතික ජන බලවේගයේපාර්ලිමේන්තු මන්ත්රීනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික, ලංකා කම්කරු සම්මේලනයේ මහින්ද රත්නායකද අදහස් දැක්වූ අතර සම්පූර්ණ මාධ්ය හමුව පහතින් පල වේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා
“මේ වෙනකොට රටේ බරපතළ ප්රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිත්වය සහිත පාලනය තුළ අපේ රට බරපතළ අනතුරු රැසකට ඇද වැටිලා තියෙනවා. ආර්ථිකය මහා පරිමාණ මට්ටමින් බිඳවැටීම, දැවැන්ත ණය බර, රටේ සම්පත් විදේශවලට බදු දීම, විකිණීම වැනි විවිධ ක්ෂේත්රවලින් රටට රට නැතිව යාමේ අනතුර මතුවී තිබෙනවා. රට රකිනවා, දේපොළ විකුණන්නේ නැහැ, කියපු ආණ්ඩුවක් මේ විනාශයක් සිදුකරමින් ඉන්නවා. විකිණීම අරමුණු කරගත් කැබිනට් පත්රිකා ගේනවා, ගැසට් ගහනවා. පෝට් සිටියත් සම්පූර්ණයෙන්ම චීනයට දීම අරමුණු කරගෙනමයි ආණ්ඩුය ක්රියාත්මක වුනේ. අධිකරණ නියෝගය නිසා විසකුරු බව ටිකක් අඩු වුණාට පෝට් සිටිය චීන බලයට යට කිරීම සිදුවෙලා ඉවරයි. ඒ වගේම කැබිනට් පත්රිකාවක් මගින් සෙලෙන්දිවා සමාගම නිර්මාණය කර කොළඹ නගරයේ වටිනාම දේපොළ විකුණන්න සූදානම් කරලා. ඛනිජ තෙල් සංස්ථාව මගින් රජයට තිබුණු ඒකාධිකාරිය අහෝසි කර පෞද්ගලික අංශයට දෙන්න හදනවා. මේ හැම එකකින්ම පැහැදිළි වෙන්නේ ජාතික ආරක්ෂාවට පවා බලපාන දේවල් විකුණන්න හෝ බදු දෙන්න සූදානම් වන ප්රතිපත්තිය ක්රියාත්මක කරමින් ඉන්න බවයි.
රට පුරා පැතිරී තිබෙන කොරෝනාවට මුහුණදීම සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත්කරගෙන. ඇතැම් ජනමාධ්ය, වියත්මග, වැනි සංවිධාන මැදිහත්වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න විශාල කාර්යභාරයක් සිදුකළා. ඒ කටයුතුවල මූලිකම තේමාව වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරන, රටේ විනය හදන, නීතිය හැමෝටම සමානව ක්රියාත්මක කරන, පවුල්වාදය නැති කරන, විද්යාත්මකව විසඳුම් හොයන කෙනෙක් හැටියටයි. හැබැයි ඒ ප්රතිරූපය අරගෙන විද්යාත්මකව රට පාලනය කරන්න ආවාට අපේ රටේ නිර්මාණය වුණු අවිද්යාත්මකම ආණ්ඩුව බවට පත්වී තිබෙනවා.
කොරෝනා පාලනය කිරිමේ එන්නත්කරණය පටන් ගත්තේ පැණිය, මුට්ටිය අරගෙන ගිහින් අන්තිමටම එන්නත්කරණය ආවේ. විද්යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා කිව්වට ඒ තුළ තියෙන්නෙත් අවිද්යාව. ඕනෑම ව්යසනයකින් හම්බ කරගන්න එක ආණඩුවේ ඇමති මණ්ඩලයේ මූලික අරමුණ වෙලා. මේක කොල්ල කල්ලියකගේ පාලනයක් බවට පත්වී තිබෙනවා. ව්යසනයක් පවා තමන්ට හම්බ කරගැනීමේ මාර්ගයක් විදිහට යොදා ගන්නවා.
අපේ මුහුදු සීමාවට ඇවිත් ගිණි ගත්ත නැව සම්බන්ධයෙන් ක්රියාකළ ආකාරය කවුරුත් දැක්ක. අපේ සීමාව තුළට ඇවිල්ලා ගිණි ගන්න කලින් ගැඹුරු මුහුදට යවන්නත් ඕන තරම් වෙලාව තිබුණා. නමුත් ආණ්ඩුව උත්සාහ කළේ නැවේ ගින්න නිවලා කීයක් හරි හම්බ කරගන්න. අහක යන නැව් නිවලා සල්ලි හම්බ කරන මට්ටමට වැටිලා තියෙනවා. නමුත් ගින්න නිවීම පිළිබඳව දැනුම හෝ හැකියාව පිළිබඳව මූලික කරුණුවත් ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ. වරාය කැබිනට් ඇමති රෝහිත අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන් විවිධ මාධ්ය සංදර්ශන සිදුකළා. අන්තිමටම වසර ගණනකින් ගොඩ ගන්න බැරි තරම් මහා පරිසර විනාශයක් සිදුවුණා. ධිවර කර්මාන්තය බිඳ වැටුණා. ඒ වගේම ආණ්ඩුව බලාපොරොත්තු වුණු වන්දියක් ගන්න අවශ්ය නෛතික ප්රතිපාදන හරි සම්පූර්ණ කරගන්න බැරිවෙලා ඉන්නවා.
පොහොර ප්රශ්නය ගත්තත් එහෙමයි. හිතුවක්කාරී තීන්දුවක් ගත්තා, රසායනික පොහොර ආනයනය නවත්වන්න. මේ තුළින් ජනප්රිය වෙන්න ආන්ඩුව කල්පනා කළා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? කාබනික පොහොර ගේනනත් සූදානම් වෙනවා. ඒකත් ජාවාරමක් බවට පත්කරගෙන. සැලසුමකට අනුව කරනවා නම් ලංකාව තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න නගර සභා මටටමින් කැලි කසල පාවිච්චි කරමින් පටන් ගන්න තිබුණා. ඒ කාබනික පොහොර හඳුන්වා දෙමින් රසායනික පොහොර ගේන එක ක්රමානුකූලව අඩු කරන්න තිබුණා. නමුත් දැන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කරන්න සූදානම් වෙනවා. නමුත් මේ ගේන්න යන්නේ ලෝකයේ රටවල තියෙන අපද්රව්ය. චීනයෙන් මේ අපද්රව්ය ගේන්න සමාගමකුත් හදාගෙන තිබෙන බව කියනවා. අපේ රටට නොගැලපෙන, අපට අහිතකර විශාල හානි මේ තුළින් සිදුවිය හැකිව තිබෙනවා. මේ නිසාම කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම්වරුන්ට ඉල්ලා අස්වෙන්න සිදුවී තිබෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ක්ෂුද්ර ජීවීන් නැති ජීවානුහරණය කළ කාබනික පොහොර ගේනවා කියලා. කාබනික පොහොර නම් ක්ෂුද්ර ජීවීන් හරහා නිෂ්පාදනය වෙන ක්රියාවලියක්. දැන් සිද්ධවෙන්නෙ කිසිම මූලික දැනීමක්වත් නැති අය රැලක් එකතු වෙලා මේ රට විනාශ කරමින් යාමයි.
ඇමතිවරුන් කරන්නේ හැරෙන හැරෙන අතට කට පාවිච්චි කරලා රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කිරීමයි. කොරෝනා එන්නත දීමත් ජාවාරමක් කරගෙන. පුද්ගලිකව මේ එන්නත ගෙන්වා ගැනීමේ උත්සාහයක් තිබුණා. හොඳ වෙලාවට ඊට අවසර ලැබුණේ නැහැ. දැන් එන්නත ලබා දෙන්නේ විවිධ අර්බුද මැද්දේ. කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා කියන්නේ රුසියාවෙන් ගෙන්වූ එන්නත එක වරක් ලබා දුන්නාම ඇති කියලා. ඒක වෛද්යවරුන්ගේ තීරණයක් නෙවෙයි. ලංකාවේ එන්නත් ක්රියාවලිය අධීක්ෂණය බාරගෙන තිබෙන්නේ නාමල් රාජපක්ෂ ක්රීඩා ඇමතිවරයා. එන්ත්කරණය සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු විශේෂඳ දැනුම තියෙන අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා, විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මියටත් අදාළ දැනුම තියෙනවා. නමුත් මේක අධීක්ෂණයට ඒ ගොල්ලෝ සම්බන්ධ කරගන්නේ නැහැ. අඩුම ගානේ සෞඛ්ය අමාත්යාවරියත් පැත්තක ඉඳිද්දී ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහත්තයා දිස්ත්රික්ක ගානේ එන්නත් ලබාදීම අධීක්ෂණයට යනවා. එන්නත් දෙනවා කියන්නෙ ක්රීඩා උත්සවයක් නෙවෙයි. රාජපක්ෂ පවුල මූලික කරගෙනයි සියල්ලම කෙරෙන්නේ. අනාගත රජවරු හදන්න ඉලක්ක කරගත් එන්නත්කරණයක් දැන් තියෙන්නේ. රෝගය කියන විපත පවා අනාගත බල ව්යාපෘතියක කොටසක් කරගෙන තිබෙනවා.
පොලීසිය බාර ඇමතිතුමා කළ ක්රියාවන් නිසා ලෝකය පුරා හෑල්ලුවට ලක්වී තිබෙනවා. ඒ ගොල්ලන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ නිසා අඩුම ගානේ මේ ආණ්ඩුව හදන්න මත පළකළ වියත්මග ඇතුලු පිරිසට වගකීමක් තියෙනවා, මේ ආණ්ඩුවේ විහිළුකාරී විනාශකාරී හැසිරීම පාලනය කරන්න මැදිහත් වෙන්න. මේ ආණ්ඩුවට ඡන්දය දුන් අයගෙන් බහුතරයක් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. සියලුම විදේශ බලවේග රට තුළට ගෙන්වා ගනිමින් තියෙන්නේ. රටේ ආර්ථිකය නිර්මාණය කරන්නේ නැහැ. වසංගතය එක්ක විහිළු කරමින් ඉන්නේ. එයින් පීඩාවට පත් ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊට අමතරව හැම ඇමතිවරයෙක්ම රට හෑල්ලුවට ලක් කරමින් සියලුම අමාත්යාංශ අවුල් කරමින් ඉන්නවා. මේ ඔක්කොම තියෙද්දී නැව ගිළුනත් බෑන් චූන් ගහගෙන ආණ්ඩුව ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කොල්ලකාරී, ජාවාරම්කාරී පාදඩකරණය කරන ලද දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් හිතන්න කාලය ජනතාවට ඇවිත් තිබෙනවා. රට හදන්න පුළුවන් සැලැස්මක් සහිත, ප්රතිපත්ති සහිත ඒ හැකියාව සහිත වමේ ප්රගතිශීලී ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව දැන් ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව දිනවන්න කටයුතු කළ ජනතාවට අපි කියන්නේ නිහඬව නොඉඳ මේ කරන විනාශකාරීත්වයට එරෙහි වෙන්න කියලයි. ඔබට හෘදයසාක්ෂියක් තියෙනවා නම් මේ කරන විනාශයන්ට එරෙහිව ඔබේ හඬ අවදි කරවන්න. එයින් නතර නොවී අපේ රටට විනාශය කරා ඇදගෙන යන මේ ක්රමය පරාජය කරන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපේ රට විශාලා මහනුවරක් වීමේ විනාශය දැන් නතර කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් කළ හැකි හැම දේම කරන්න ජාතික ජන බලවේගය පෙළ ගැහිලා ඉන්නවා. රට ගැන හැඟීමක් තියෙන සැබෑ අය තමන්ගේ හඬ අවදි කරමින් පෙළ ගැසිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”
හැටනම ලක්ෂය මේ වෙලාවේ ඉතාමත්ම අසරණයි…
ජාතික ජන බලවේගයේපාර්ලිමේන්තු මන්ත්රීනි, ආචාර්ය හරිනි අමරසූරිය
“ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කනරකොට අපේ රට යම්කිසි විදිහකට වාසනාවන්ත රටක් කියල හැඟීමක් ශ්රී ලාංකිකයන් හැටියට තිබුණා. ගැටළුවලට මුහුණ දුන්නත් අපිට ඒවාගෙන් ගොඩඑන්න පුලුවන් කියන විශ්වාසයක් තිබුණා. අප්රිකාවේ රටවල් එක්ක, බංගලිදේශය එක්ක, එහෙමත් නැත්නම් ජපානය එක්ක වගේ සංසන්දනය කරලා වාසනාවන්ත රටක් කියන හැඟීමක් තිබුණා. බින්දුවට වැටෙන්නේ නැහැ කියන වි්යුහාත්මක ශක්තිමත් බවක් තියෙනවා කියලා විශ්වාසයක් තිබුණා. අවුරුදු දෙකක්වත් යන්න කලින් මිනිස්සුන්ට තමන්ගේ රට, තමන්ගේ අනාගතය ගැන කිසිම විශ්වාසයක් නැති තැනකට මේ ආණ්ඩුව පත්කර තිබෙනවා. වර්තමානය පිළිබඳවත් අනාගතය පිළිබඳවවත් තමන්ගේ ජීවිතය පිළිබඳවත් ජනතාවට තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිතභාවයක්. මේ ප්රශ්නවලින් ගොඩඑන්න බැහැ කියන හැඟීමක් ඇතිවෙලා තියෙනවා. අපිට එන දුරකතන ඇමතුම්, අපිට එන ලියුම්වලින් ජනතාව අතර තියෙන බලාපොරොත්තු රහිත අවිනිශ්චිතභාය හොඳටම දැනෙනවා. මේක ඉතාමත්ම භයානක තත්වයක්.
උදාහරණයක් හැටියට මේ මොහොතේ ක්රියාත්මක සංචරණ සීමාවන් දැක්විය හැකියි. ආණ්ඩුව මේ සංචරණ සීමාවන්වලට විරුද්ධවයි හිටියේ. සෞඛ්ය ක්ෂේත්රය, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සහ සංවිධාන වගේම ජනතාවගෙන් ලොකු බලපෑමක් එල්ල වීම නිසා සංචරණ සීමාවන් පැනවූවා. ආණ්ඩුව එය කළේ අකැමැත්තෙන්. සංචරණ සීමා ඉල්ලුවේ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා. සෞඛ්ය සේවයට මුහුණු දෙන්න පුළුවන් තත්වයක පාලනය කිරීමේ අවශ්යතාවය අනුවයි ඒ වෙනුවෙන් පෙනී හිටියේ. නමුත් සංචරණ සීමාවන් පැනවිය යුත්තේ එහි ප්රතිඵල ලබාගන්න සැලසුම්සහගත ක්රියාමාර්ග සමඟයි. බොහෝ රටවල සංචරණ සීමාවන් පැනවූවාට ආහාර බෙදාහැරීම, සෞඛ්ය සේවාව පවත්වාගෙන යෑම, ඉතාමත්ම වැදගත් නිශ්චිත ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම සඳහා සැලසුම් තියෙනවා. නමුත් අපේ රටේ අත්යාවශ්ය සේවාවන් කියලා ඕනෑම ක්ෂේත්රයකට ක්රියාත්මක වෙන්න පුළුවන්. පාරට බැස්සාම සංචරණ සීමාවන් ගැන පේන්නේ නැහැ. නිදහස් වෙළඳ කළාපය අත්යාවශ්ය සේවාවක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒක ක්රියාත්මක විය යුතුයි කියලා පිළිගන්නවා නම් ඒ කර්මාන්තවල වැඩකරන අයගේ ආරක්ෂාව සඳහා ක්රියාත්මක කර තිබෙන්නේ මොනවාද? ඔවුන්ගේ සෞඛ්ය පහසුකම් සහ ආරක්ෂාව දීලා තියෙන්නේ ඒ ව්යාපාරිකයන්ට. නිදහස් වෙළඳ කලාපයේ බොහෝ අය වැඩකරන්නේ මෑන් පවර් ඒජන්සි හරහා. ඔවුන් වෙනුවෙන් ව්යාපාර හිමි අය වගකියන්නෙත් නැහැ. රජය වගකියන්නේත් නැහැ. මෑන් පවර් ඒජන්සි වගකියන්නෙත් නැහැ. රැකියා ස්ථානවලදී කොවිඩ් අසාධනය වුණොත් ඔවුන්ගේ බෝඩිංවල නතර වෙන්න කියනවා. ඒ තැන්වල සමාජ දුරස්ථභාවයක් තියාගෙන්න බැහැ. ඔවුන්ට ආහාර ලබාගන්නවත් විදිහක් නැහැ. එදිනෙදා රැකියාවට ගියේ නැත්නම් ආදායමක් ලැබෙන්නෙත් නැහැ. මේ අය පිලිබඳ කිසිම වගකීමක් කවුරුත් අරගෙන නැහැ. ඒ හා සමාන ව්යාපාර ගොඩක් තියෙනවා. සුපර් මාකට්වල වැඩ කරන අයත් එහෙමයි. ඔවුන් බොහෝ දෙනක් කොළඹින් පිට අය. ඔවුන් ජිවත් වෙන්නේ බෝඩිංවල. නිරෝධායනයට අවශ්ය පයසුකම් බෝඩිංවල තියෙනවාද? කොළඹ ආර්ථික සේවාවන් සපයන බොහෝ අයගේ තත්වය මේකයි.
මේ කරන්නේ රටේ ජනගහනයෙන් යම් කිසි පිරිසක් බිල්ලට දීමයි. කොටසක් ලෙඩවෙලා මැරුණට කමක් නැහැ කියන තැනකයි ආණ්ඩුව ඉන්නේ. එවැනි කෲර විදිහට ක්රියාත්මක වෙන ආණ්ඩුවක් දැන් තියෙන්නේ. මිනිස්සුන්ගේ ඇත්ත තත්වයන් ගැන කිසිම හැඟීමක් නැති විදිහට ක්රියාත්මක වෙනකොට සංචරණ සීමාවලින් බලාපොරොත්තු වෙන ප්රතිඵල ලබාගන්න බැහැ. කොවිඩ් පැතිරීමත්, මරණ සංඛ්යාවත් අඩු කරගන්න පුළුවන්ද කියන ප්රශ්නය දැන් මතුවී තිබෙනවා.
විදේශිකයන් පිරිසකට යාල, උඩවලව උද්යාන යම්කිසි අනුමැතියකට යටත්ව විවෘත කරන්න තීරණය කර තිබෙනවා. මේ තීරණ ගන්නේ කවුද? මෙවැනි තීරණ ගන්න මොන සෞඛ්ය බලධාරීන්ගේ අනුමැතියද ලබාගත්තේ? මේ තීරණවලට වගකියන්නෙ කවුද? මාස කිහිපයකට ඉස්සර යුක්රේනියානුවන් පිරිසකට යාල විවෘත කළා. එතැන හිටපු මඟපෙන්වනන් කිසිම සැලැස්මක් නැතිව නිරෝධායනයට යැව්වා. අන්තිමට මේ තැන්වල වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? මිනිස්සුන්ගේ ජීවිත ගැන පවා කිසිම වගකීමක් නැතිව ක්රියාකරන ආණ්ඩුවක් දැන් තියෙන්නේ.
විශේෂයෙන්ම අධ්යාපන ක්ෂේත්රයේ බරපතල ගැටලු තියෙනවා. අවුරුදු එකහාමරකට වැඩි කාලයක් පාසැල් සහ විශ්වවිද්යාල පවත්වාගෙන යන්න බැරිවුණා. නමුත් අධ්යාපන බලධාරීන්ගෙන් ඇහුවාම කියන්නෙ ඔන්ලයින් මාර්ගයෙන් ඉගෙන ගන්නවා, කිසිම ප්රශ්නයක් නැහැ කියලයි. නමුත් දෙමව්පියන්ගෙන් ඇහුවාම, පැසැල් දරුවන්ගෙන්, විශ්වවිද්යාල ශිෂ්යාවන්ගෙන් ඇහුවාම ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උත්තරයක්. ඔන්ලයින් ක්රමය තුළින් ගෙවල් තුළ දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ ළමුන්ට මොන තරම් පීඩනයක් තියෙනවාද? ඩේටා, සිග්නල් ඔක්කොම තිබ්බත් ඒ වෙනුවෙන් මුදල් වියදම් කළත් මේ ක්රමය තුළින් හරියට ඉගෙන ගන්න බැරිව අධ්යාපනය අත්හරින පිරිස අතිවිශාලයි. අංක ගණිතයෙන් අධ්යාපනයේ ගුණාත්මකභාවය ගැන තක්සේරු කරන්න බැහැ. මිනිස්සුන්ට තමන්ගේ ආහාර වේල හොයාගන්න බැරි වෙලාවක අධ්යාපනය වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරන්න සිදුවී තිබෙනවාද? නමුත් ආර්ථික පැත්තෙන් විතරක් නෙමෙයි මානසික පැත්තෙනුත් අති මහත් බරක් පැටවී තිබෙනවා. ගෝලීය වශයෙනුත් මේ තත්වය වාර්තා වෙනවා. සංචරණ නීති සහ රෝගයත් එක්ක ඇතිවී තිබෙන මානසික ව්යාකූල තත්වය මැද්දේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය ඉහළ ගිහින් තිබෙනවා. මේකට බොහෝ විට මුහුණ දෙන්නේ වැඩිහිටියන්, කාන්තාවන් සහ ළමුන්. ආරක්ෂාව අවශ්යම පවුල තුළ බලය අඩුම පිරිස් මේ ප්රචණ්ඩත්වයට ලක්වෙලා.
ලෝක සෞඛ්ය සංවිධානය සහ යුනිසෙෆ් එක පවා මේ තත්වයන් පිළිබඳව රටවල්වල ආණ්ඩුවලට අවධාරණය කර තිබෙනවා. මේ වෙනුවෙන් විශේෂ මැදිහත්වීම් කරන්න උපදෙස් දී තිබෙනවා. නමුත් අපේ රටේ ඒ ගැන කිසිම අවධානයක් ආණ්ඩුව යොමු කර තිබෙනවාද? මේ තත්වයට මුහුණ දෙන වැඩිහිටියෙක්, ළමයෙක් ගැහැණියක් කාටද ආමන්ත්රණය කරන්නේ? සංචරණ නීති කියලා මිනිස්සුන්ව අතහැරලා තියෙන්නේ. සංචරණ ප්රකාශ කරන එක වැඩක් නෙවෙයි. ඒවා ක්රියාත්මක කිරීමේදී මිනිස්සුන්ට අවම බලපෑම් සිදුවන විදිහට ක්රියාත්මක කිරීමයි මූලික වගකීම.
අපේ රටේ පාලකයෝ හැසිරෙන්නේ මේ රටේ මිනිස්නුන්, මේ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ සලකලා. ඔවුන්ගේ පෞද්ගලික න්යායපත්ර ක්රියාත්මක කරන්න මේ සියල්ල යොදා ගන්නවා. හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නේ මේකට නෙවෙයි. ඡන්දය දුන්න අයට මේ තත්වය හොඳටම තේරිලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම අසරණයි. ඔවුන් දැන් අතරමං වෙලා ඉන්නේ. නමුත් අපි කියන්නේ ඡන්දයේදී ඔවුන්ට වරදින්න පුලුවන්. නමුත් රටට මේ වගේ විනාශයන් වෙන්න දෙන්න බැහැ. මේ රටට අනාගතයක් තියෙන්න ඕනෑ. මේ රට වාසනාවන්තයි කියන හැඟීම නැති වෙච්ච එක ඛේදවාචකයක්. අපේ භූගෝලීය පිහිටීම, විවිධත්වය, සංස්කෘතීන්, සියල්ල කොතරම් වටිනවාද කියලා අපි දන්නවා. ආත්මාර්ථකාමී මුග්ධ හැඟීම් තියෙන පාලකයන්ට මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. එය නතර කිරීමට අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. තමන්ගේ බලාපොරොත්තු අත්නොහැර මේ තත්වය වෙනස් කිරීමට ප්රගතිශීලී සහ මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන පිරිසත් එක්ක එකතු වෙලා විනාශය නතර කරන්න එක්වෙමු කියන ආරාධනය කරනවා.”
අවස්ථාව අනුව පාවිච්චි කළ යුතු බලවේග නොදන්නා පාලකයා
එකම ආයුදයකින් වැඩ කරන මකබාස් කෙනෙක්
ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික මහින්ද රත්නායක
“ප්රජාතන්ත්රවාදී රටවල බලයට පත්වෙන පක්ෂය ජනතාව සමග සම්මුතියක් තිබෙනවා. එම සම්මුතියේ කොන්දේසි තිබෙන්නේ මැතිවරණ ප්රකාශනයේයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රකාශනයේ ප්රධාන කරුණු තුනක් තිබුණා. පළමුවැන්න මෙය සෞභාග්යමත් රටක් කරනවා කියන එක. ඒ සඳහා මෙතෙක් ආණ්ඩු විසින් විකුණන ලද සම්පත් නැවත රජයේ අයිතියට ලබාගෙන ජාතික ආර්ථිකය ශක්තිමත් කරගෙන සියලු දෙනාට යහපත් ජීවිතයක් ලබා දීමට මේ රට සංවර්ධනය කරනවා කියලා ඔහු කිවුවා. දෙවැන්න මේ රට විනයගරුක රටක් බවට පත්කරනවා කියන එක. තුන්වැන්න ජාතික ස්වෛරීත්වයයි. වෙනත් ජාතීන්ට යටත් නොවී. සමානයෙකු ලෙස ගනුදෙනු කරන ජාතියක් ගොඩනගන බව කීවා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමැත්ත පළ කළා.
මේ වන විට ඔහු තමන්ගේ ගිවිසුමේ තිබුණු ප්රධාන පොරොන්දු තුනම කඩා බිඳ දමා ඊට එරෙහිව කටයුතු කර ඇති බව අද වන විට පේනවා. අවුරුදු 05කට බලය දුන්නත් අවුරුදු එකහමාරක් යන විටම එම පොරොන්දු බිඳ දමා තිබෙනවා. ඡන්දය ලබා දුන් අය අද අහන්නේ අපි රාජපක්ෂ දේපළ වෙළඳ සමාගමකටද රට බාර දුන්නේ කියලා. රාජ්ය දේපළ ගජමිතුරන්ට ලබා දෙන මංකොල්ලයක් සිදුවෙමින් යනවා. හම්බන්තොට වරාය නැවත පවරා ගන්නා බව කියූ පිරිස අද කොළඹ වරාය නගරය නගරය ඇතුළු කොළඹ නගරයේ වටිනාම ඉඩම් විදේශිකයන්ට විකිණීමට සූදානම් වනවා. මැතිවරණ පොරොන්දු කඩපු මෙවැනි අවස්ථාවක රට සාමාන්ය තත්වයේ තිබුණා නම් මිනිස්සු පාරට බහිනවා. නමුත් අද කොවිඩ් වසංගතය නිසා අද මිනිසුන් ස්වයංව හෝ රජයේ නියෝගවලට අනුගත වී නිවාස ගතව සිටිනවා.
නමුත් ඒ අතරතුර ආණ්ඩුව තමන්ට අවශ්ය ජනතා විරෝධී ක්රියාමාර්ග දිගටම ගනිමින් ඉන්නවා. ආණ්ඩුවට තමන්ගේ වැඩ ටික ඉදිරියට කරගෙන යාම සඳහා කොරෝනා දිගින් දිගට පවත්වා ගැනීමට අවශ්යදැයි අපට ප්රශ්නයක් තිබෙනවා. අවශ්ය අවස්ථාවල පාර්ලිමේන්තුව අරිනවා. විවිධ කණ්ඩායම්වල අවශ්යතා වෙනුවෙන් ගුවන්තොටුපළවල්, වනෝද්යාන අරිනවා. නමුත් ජනතාවගේ ක්රියාකාරිත්වය නතර කරනු ලැබ තිබෙනවා. හමුදාවක් ඉදිරියට දමා රටක් සංවර්ධනය කළ හැකි යැයි ඇතැම් අය විශ්වාස කළා. එසේ කළ හැකි වූවා නම් හමුදා ආණ්ඩු තිබූ රටවල් දියුණු වී තිබිය යුතුයි. නමුත් එසේ නොවන බව අපි දන්නවා. රාජ්ය පාලකයෙක් දක්ෂ වඩු කාර්මිකයෙක් බඳු විය යුතුයි. ඔහු එක් මෙහොතක කියත ගන්නවා. එය පසෙක තබා නියන ගන්නවා. ඉන් පසු බුරුමය ගන්නවා. යතුකැටය ඉන්පසුව ගන්නවා. රට ඒ ඒ මොහොතේ මුහුණ දෙන ප්රශ්න අනුව විශේෂඥභාවය අනුව පුද්ගලයින්ගේ, කණ්ඩායම්වල සහය ලබා ගන්නවා. යුදමය අවස්ථාවක හමුදාව ඉදිරියට ගත්තාට සිවිල් අවස්ථාවක සිවිල් පරිපාලනයේ දක්ෂයින් අදාළ තැන්වල තැබිය යුතුයි. වසංගතයක් තිබෙන වෙලාවක එහි විශේෂඥයින් ඉදිරියට ගත යුතුව තිබෙනවා. නමුත් ගෝඨාභය මහතා හැමදේකටම හමුදාව ඉදිරියට දමා කරන්නට උත්සාහ කරනවා. අවස්ථාවට අනුව පාවිච්චි කළ යුතු බලවේග මොනවාදැයි ඔහු දන්නේ නැහැ. එතකොට පාලකයාට එකම ආයුදේකින් වැඩ කරන මකබාස් කෙනෙක් වෙන්න වෙනවා.
මේ තත්වය නිසා රටම අවුල් ජාලාවක් වෙලා. රටේ අනාගතය කොතැනින් කෙළවර වේදැයි කිසිවෙකුටත් කියන්නට බැහැ. සියයට 03ක් ඡන්දය ලබා ගත් ජාතික ජනබලවේගය ලෙස අපිට කෙලින් හිටගෙන කියන්න පුළුවන් අපි කිවුව දේ තමයි රටට වෙලා තියෙන්නෙ කියලා. මේ වගේ පාලකයන් පත් කරලා රටවල් ගොඩගත නොහැකියි. ජනතාව තමන්ගේ පරමාධිපත්ය බලය පාවිච්චි කරලා පාලකයින් පත් කළත් ආර්ථික ව්යුමය වෙනස් කර ගැනීමට ඔවුන් නොහැකියි. ඒ ආර්ථික මොඩලය ක්රියාත්මක වෙන්නේ වෙනස් කොටස් තුනක් මගින් වීම නිසයි. පළමු කොටස ජනාධිපති, අගමැති ඇතුළු ඉහළම දේශපාලන නායකත්වය හා ඔවුන් වටේ සිටින අතළොස්ස. දෙවැන්න මහ බැංකුවේ සිටින නිලධාරී මණ්ඩලයයි. තෙවැන්න මුදල් සපයන රට හෝ ආයතනයයි. මෙය ඉංග්රීසියෙන් ඔලිගාකි () එකක් ලෙස හඳුන්වනවා. ජනතාවට ඡන්දය ලබා දී මේ කණ්ඩායම වෙනස් කළ නොහැකියි. ඒ වෙනුවෙන් එම බලවත් කල්ලියට යටත් නොවෙන සමාජ බලවේගයක් බලයට පත් කළ යුතුව තිබෙනවා.
එ.ජා.ප. ආණ්ඩුව තිබියෙදී මන්ත්රීවරුන් සිටියත් පාස්කරලිංගම්, චරිත රත්වත්ත, රනිල් වික්රමසිංහ ඇතුළු තීන්දු ගන්නා සීමිත පිරිසක් හිටියා. මේ ආණ්ඩුව ගත්තොත් පී.බී. ජයසුන්දර, අජිත් නවාඩ් කබ්රාල්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සීමිත පිරිසක් තමයි ආර්ථිකය පාලනය කරන්නේ. අනිත් අය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ලෙස පෙනී සිටිනවා පමණයි. ජොනී වගේ කෙනෙක් සභානායක වන්නේ මේ තත්වය තුළයි. ලංසා, මහින්දානන්ද අලුත්ගමගේ වැනි පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන අය එතැන ප්රමුඛයින් වී තිබෙනවා. එයින් අපට පේනවා ආණ්ඩුව තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත තැනක බව. රට පාලනය කරන්නේ ඒ කල්ලියකගේ ට්රොයිකා එකෙන්. ඒකෙ හමුදාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. මේ සෙටප් එකට ප්රජාතන්ත්රවාදය යැයි භාවිත කරන ලෙස අපට කියනවා. නමුත් සැබෑ ප්රජාතන්ත්රවාදය ඇති කර ගැනීමට නම් ජාතික ජන බලවේගය වැනි පහළ සමාජ තීරුවේ බලවේගයන්ගේ දේශපාලන බලයක් පිහිට විය යුතුයි. එසේ නොකොට මේ රට ගොඩනැගිය නොහැකියි.
මේ වන විට ලෝකය තුළ තත්වයන් වෙනස් වෙමින් ඉන්නවා. චීනය ලෝක බලවතෙක් ලෙස නැගීගෙන එනවා. ඔවුන් දකුනු ආසියාව තුළ තමන්ගේ බල ව්යාපෘති ක්රියාත්මක කරමින් ඉන්නවා. ඉකොනොමිස්ට් සඟරාවට අනුව ඒ වෙනුවෙන් චීනය ඩොලර් ටි්රලියන 04ක් වියදම් කිරීමට සූදානම්. ලංකාව එහි එක් මධ්යස්ථානයක්. රටේ ඇතැම් ව්යාපෘති දියත් වන්නේ රටේ නායකයින්ගේ වුවමනාවන්ට නෙමෙයි. ඒවා චීන ව්යාපෘතියේ යටිතල පහසුකම්. අද රටේ අර්ථිකයෙන් උපදින ධනය ගොඩගැසෙන්නේ කොළඹයි. ඒවා ගමට යන්නේ නැහැ. නමුත් ධනය උපදින්නේ ගමෙනුයි. වෙළඳ කලාපයේ තරුණ තරුණියන් වැඩි ප්රමාණයක් ගම්වලින් පැමිණි අයයි. මැදපෙරදිග ශ්රමික කාන්තාවන් වැඩිපිරිසක් ගම්වල අයයි. තේ දලු නෙළන වතු කම්කරුවන් සිටින්නේ කොළඹින් බැහැරවයි. නමුත් ධනය ඇදී එන්නේ කොළඹටයි. රටේ උපදින ධන චෞර වළල්ලක් වටා ඒකරාශී වනවා. නමුත් අපි යෝජනා කරන්නේ ගමට සංවර්ධනය යන ආර්ථික මොඩලයක්. මේ රට සංවර්ධනය කළ හැක්කේ ඒ තුළ පමණයි. අවුරුදු 73ක් මේ රට පාලනය කළ පක්ෂ දෙකට මේ කටයුත්ත කළ නොහැකි වූවා.
මහවැලියෙන් කෘෂිකාර්මික ප්රදේශ ව්යාප්ත කර ගත් නමුත් අද කන්න හාල් නැති වී තිබෙනවා. හාල් මිල අධික වී තිබෙනවා. එහි ප්රතිලාභය ගොවි ජනතාවට ලැබෙන්නේත් නැහැ. ඒ ධනය ඒකාධිකාරයක් වටා ඒකරාශී වනවා. ගමෙන් එන ජනතාවට කොළඹ පැමිණ වරාය නගරයේ විදුලි ආලෝකය බලා ආපසු ගමට ගිය හැකියි. සංවර්ධනයේ ප්රතිලාභ ගමට යන්නේ නැහැ. රටක් සංවර්ධන වීමට විරැකියාව නැති විය යුතුයි. ඇති නැති පරතරය ඉවත් විය යුතුයි. ගම හා නගරය අතර පතරය නැති විය යුතුයි. කෙනෙකු ගන්නා වැටුපෙන් ඔහුට අවශ්ය දෛනික කැලරි ප්රමාණය ලබා ගත හැකි විය යුතුයි. ධනේශ්වර සංවර්ධන නිර්නායක අනුව අප ඩො. 4000කට ආසන්න ආදායම් ඇති පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙනවා. නමුත් එවැනි නිර්ණායක අනුව බලන්නේ නම් එක් අයෙකට රු. 60,000ක මාසික ආදායමක් ලැබිය යුතුව තිබෙනවා. ගෙදර සිව්දෙනෙක් සිටිනවා නම් 60,000 ඒවා 04ක් ලැබිය යුතුයි. නමුත් ඒ ධනය, නගරයේ දේශපාලකයින් සමග ඉන්න 10%ක පමණ පිරිසක් අත එකතු වෙනවා. මේකෙන් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. මේ තත්වය තුළ රට ගොඩනැගිය හැකි නව සමාජ ආර්ථික ගමනක් වෙනුවෙන් ජාතික ජන බලවේගය වටා පෙළගැසෙන ලෙස සියලු දෙනගෙන් ඉල්ලනවා.”
මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්
“සිදුවී ඇති සිදුවීම් දැකීමේදී සහ ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වන අදහස් අනුව මේ නැව කොළඹ වරාය ආසන්නයට එන විට ගින්නක් ඇතිවීමට අදාළ කරන තත්වයන් පැවති බවට උපකල්පනය කළ හැකියි. ඒ බව වරායට දැනුම් දී ඇති බවද කියනවා. ඒ අනුව ආණ්ඩුවට තෝරා ගත හැකි ක්රම දෙකක් තිබුණා. එක්කෝ මෙය නිවිය හැකිද යන්න සොයා බලා එය නිවා දැමීමයි. එසේ කළ නොහැකි නම් එය ඈත මුහුදට රැගෙන යාමයි. ආණ්ඩුව එය නිවිය හැකිද යන්න නොදැන ගිනි නිවීමේ අභියෝගය භාර ගත්තා. අපිට හිතෙන්නේ එසේ කළේ වන්දි ගන්න බලාගෙන කියලයි. පරිසරය විනාශ වුණාට කමක් නැහැ, අපට ලොකු වන්දියක් ලැබෙනවායැයි වාසුදේව ඇමතිතුමා කිවුවා. නැව නිවන්න තීන්දුව ගන්නකොට නිවන්න බැරි මට්ටමට ගිනි අරගෙන ඉවරයි. නිවන්න හැදුවෙ වතුර ගහලා. නැව ගිනි අරන් ඉවර වුණාම තමයි ජනාධිපති තීන්දු කරන්නේ නැව දියඹට අරගෙන යන්න. එහෙම අදිනකොට ගිලිලා බිම ඇනෙනවා. නැවේ ගින්න වැඩි වෙන්න කලින් ඒ තීන්දුව ගන්න තිබුණා. ගින්න තියෙද්දිත් කපිතාන් දින ගාණක් නැවේ හිටියා. මේ පිළිබඳ විද්යාත්මක දැනුමක් නොමැතිව, වාසි ගැනීමේ අරමුණින් කරන වැඩ නිසා රටත් විනාශ වෙලා, පරිසරෙත් විනාශ වෙලා තිබෙනවා. දැන් වගකියන්න කෙනෙක් නැහැ. කවුද මේවායේ වගකීම බාර ගන්නේ. ජනාධිපති, රෝහිත ඇමති කවුරුවත් බාර ගන්නේ නැහැ. අද පීඩා විඳින්නේ රස්සාව කරගන්න බැරිවුණු ධීවරයායි; ඉස්සන් වගාකරුවනුයි; වෙරළබඩ පරිසර පද්ධතියයි. මේ කිසිවෙකුට ආණ්ඩුව කරගෙන යාමේ හැකියාවක් නැහැ. මේ අහම්බෙන් බලය හම්බු වුණු පිරිසක්. ඔවුන්ගේ අරමුණම හම්බකර ගැනීමයි.”
“අපේ අය විපතට පත් වූවන් මුණගැසීමට ගියා. නමුත් වෙරළෙ ප්ලාස්ටික් ඇහිඳලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි මේක තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් බලයේ හිටියත් මේක මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද දෙගොල්ලගෙම ප්රතිපත්ති එකයි. දැන් තියෙන්නේ මීඩියා සංදර්ශනවලට වෙරළෙ පබළු ඇහිඳින එක නෙමෙයි; මේ සිදුවුණු විනාශය යථාවත් කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. ධීවරයින්ට සහනයක් ලබා දිය යුතුයි. වෙරළ සම්පූර්ණයෙන් පිරිසිදු කළ යුතුයි. නමුත් ඒ කිසිවක් නැතුව ආණ්ඩුව වන්දි ලැබෙනතෙක් සිටිනවා. ධීවරයා රස්සාව කර ගත නොහැකිව සිටිනවා. පරිසරයට ආදරය කරන අය විනාශය දැක වැලපෙමින් සිටිනවා. වරාය හා නාවුක ඇමතිවරයා බෝට්ටුවක නැගී නැව වටේ සිට ගිනි නිවීමට උපදෙස් දෙමින් සිටියා. දැන් ඔහු ජනතාවට මේ පිළිබඳව ගන්නා පියවර රටට කිව යුතුයි. නමුත් ඔහු දකින්නට නැහැ. වරාය ඇමති, ධීවර ඇමති. පරිසර ඇමති, අගමැති. ජනාධිපති මේ කිසිවෙක් වගකීම ගන්නේ නැහැ.”
“මේක බලය ගැනීම වෙනුවෙන් පාස්කු ප්රහාරය විකුණූ පක්ෂයකින් සමන්විත ආණ්ඩුවක්; හම්බන්තොට වරාය විකිණූ අවස්ථාවේ ඒ සම්බන්ධව මැදිහත් නොවී සිට ඒ විකිණූ ඒවාත් ආපසු ගන්නා බව කියමින් ජනතාව රැවටූ ආණ්ඩුවක්; පරිසරය රකින බව කියමින් තරුණයින් තාප්පවල චිත්ර ඇඳීමට යවමින් පොස්ටර් ගැහුවොත් පරිසරය විනාශ වන බවට මිනිසුන් බියවද්දා බලයට පැමිණි ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව තමන්ට කිසිවක් කරගන්න බැරිවුණාම, තමන් අසමත් වුණාම ඒ අසමත්කම ගැන කතා කරන අයට චෝදනා කිරීම විහිළුවක්. අපි ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපට මේ රට වෙනුවෙන් වගකීමක් තිබෙනවා. රටට විනාශයක් වෙනවානම්, රටට පාඩුවක් වෙනවානම්, පරිසරය විනාශ වෙනවානම්, ආර්ථිකය කඩා වැටෙනවානම්, ආර්ථිකයට දායක වෙන ජනකොටසක් පීඩාවට ලක්වෙනවානම් ඊට එරෙහිව සටන් කරන්න, හඬ නගන්න අපිට අයිතියක් තිබෙනවා. ඇත්තටම කොවිඩ් නිසා මේ අයිතිය පාවිචිචි කර ගන්න එක දුෂ්කර වී තිබෙනවා. ඇත්ත ගත්තොත් අපි මේ මහපාරේ සිටිය යුතු මොහොතක්. වරාය නගර පනත සම්මත කරන මොහොතේ පාර්ලිමේන්තුව වට කළ යුතුව තිබුණා. නමුත් අපි වගකිව යුතු දේශපාලන පක්ෂයක් නිසා කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන කුඩා උද්ඝෝෂණේකින් සෑහීමකට පත්වෙන්න අප සිදු වුණා. මේ පවතින තත්වයට එරෙහිව මිනිස්සු පාරට බහින්නෙ නැත්නම්, හඬ නගන්නෙ නැත්නම් ඒ අය ඇත්ත මිනිස්සු නෙමෙයි. ඇත්ත ප්රශ්න වෙනුවෙන් ඇත්ත මිනිස්සු මැදිහත් විය යුතුව තිබෙනවා. මෙවැනි මොහොතක මුනිවත රැකීම අපරාධයක්. නිහඬව සිටීම අපරාධකාරී ආණ්ඩුවකට කරන අනියම් සහයෝගයක්.”













