මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව නියෝජනය කරන එජාප මන්ත්රීවරුන්ගේ නිර්දේශ මගින් උත්සාහ කරනු ලබන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ආරක්ෂා කිරීම බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
කෝප් කමිටුව පසුගිය කාලය පුරාවට පරීක්ෂණ පවත්වා මෙම බැඳුම්කර සිද්ධියට අර්ජුන් මහේන්ද්රන් සෘජුව වගකිවයුතු බව තහවුරු කරගෙන තිබියදී මේ පිළිබඳ නැවත නීතිමය පරීක්ෂණ සිදුකළ යුතු බවට එජාප මන්ත්රීවරුන් විසින් ප්රකාශ කිරීම කැලේ ගස කැලේ හැංගීමට දරන උත්සාහයක් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කරයි.
කෝප් කමිටුව මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි ලෙස කරුණු හදාරා දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ සිදුකොට පොදු වාර්තාවක් ලෙස ඉකුත් 21 වන දින සම්මත කරගත් වාර්තාවේ පැහැදිලිවම ගතයුතු ක්රියා මාර්ග පිළිබඳ නිර්දේශ කර තිබියදී වෙනත් වාර්තා ඉදිරිපත් කිරීම චූදිතයින් බේරාගැනීමට ක්රියා කිරීමක් බැව් තමන් තරයේ විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි.









