ප්රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී ශ්රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශය ව්යාජ එල්.ටි.ටි.ඊ. සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සංවිධානය මාධ්යවේදී එක්නැලිගොඩ මහතා සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.
එල්ටීටීඊ ඔත්තු සේවය වන ‘ටොසී‘ හි සේවය කර පසුව යුද හමුදාවට බාර වූ පිරිසක් හා යුධ හමුදාවේ බුද්ධි අංශයේ සිටින දෙමල භාෂාව චතුර ලෙස හසුරුවන පිරිසක් විසින් එම ව්යාජ එල්.ටි.ටි.ටි.ඊ. සංවිධානය පවත්වා ගෙන ගොස් ඇත්තේ, ආරක්ෂක අමාත්යංශයේ උපදෙස් මතය.
එම ව්යාජ එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් ගිරිතලේ කැලෑවක් තුල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ස්ථානයට ‘ප්රගීත්‘ මහතා කිහිප අවස්ථාවකම ආ ගිය බව මේවනවිට අත්අඩංගුවේ පසුවන ‘තවේන්ද්රන් (සුරේෂ් කුමාර්) පවසා තිබෙන බව වාර්තා වේ.
එල්ටීටීඊ ‘ටොසී‘ ඔත්තු සේවයේ ප්රබලයකු වන කපිල් අම්මාන් යටතේ කටයුතු කර ඇති ‘තවේන්ද්රන්‘ මේ වනවිට යුධ හමුදා බුද්ධි අංශය විසින් සිදුකරනු ලැබූ රහසිගත මෙහෙයුම් ගණනාවක් අනාවරණය කර ඇත.
ගෝඨා හා ෆොනිත් ගෑවිලා
ඔහු විසින් අනාවරණය කල තොරතුරු මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් හා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගෙන් ද ප්රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම ඉදිරි දින කිහිපය තුලදී හිටපු යුධ හමුදාපති ජගත් ජයසුරිය, යුධ හමුදා බුද්ධි අංශයට සම්බන්ධව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ, බ්රිගේඩියර් වන්නිආරච්චි, මේජර් ජනරාල් අමල් කරුණාසේකර, මේජර් ජනරාල් ජන්මික ලියනගේ යන අයගෙන් ද කට උත්තර ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
දැනට 7ක් ඇතුලේ
ප්රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් කුමාර රත්නායක, ලුතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප්රල් ජයලත් යන අය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඊට ඉහතදී මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ ‘තවේන්ද්රන්‘ ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
උපුටාගැනීම ශ්රී ලංකා මිරර්









