එක්නැලිගොඩ අතුරුදන්වීමට පසුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුත් සම්බන්ධ වෙලා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සාජන් මේජර්වරයකු හා කෝප්‍රල්වරයකු විසින් මේ සිද්ධියට පසුගිය පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සම්බන්ධ බවට ප්‍රකාශයක් රහස් පොලිසිය වෙත ලබා දී ඇත.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්වී සිටින හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි ලුතිනන් කර්නල්වරයකු විසින් එය නිලධාරියකුගේ ‘නියෝගයක්’ බව පවසා තමන් දෙදෙනා මෙයට යොදවාගත් නිසා මෙම සිද්ධියට සම්බන්ධ වූ බව ද මෙම දෙදෙනා පොලිසියට පාපොච්චාරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හිටපු උසස් ‍නිලධාරියා පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලද්දේ දැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඉහළ මට්ටමේ පොලිස් ආරංචිමාර්ග, සැකකරුවකු විය හැකි අයකු පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් නොවන බව දන්වා සිටී.

“එබඳු ප්‍රකාශ විද්‍යාත්මක හා වෙනත් සාක්ෂිවලින් තහවුරු විය යුතුයි. ඒවා සමානවන්නේ නම් පුද්ගලයාගේ තරාතිරම නොබලා පොලිසිය අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කරනවා” යැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය රාජ්‍ය පාලන සමයේදී කේන්ද්‍රගත කාර්යභාරයක් ඉටුකළ මේ නිලධාරියා, පසුගිය සතියේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අසල ප්‍රචණ්ඩව හැසිරුණ බෞද්ධ භික්ෂූන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇතැයි ද ආරංචිමාර්ග හෙළිකරයි.

මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනයන් කඩාකප්පල් කර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ගෙන් පසුගිය රාජ්‍ය පාලනයේ සිටි උසස්ම නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා කරන ලද රංගනයක් ලෙස මෙය පෙනීයා හැකි යැයි ද මෙම ආරංචිමාර්ග පැවසීය. 2010 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයට දින දෙකකට පෙර නීති විරෝධී ලෙස පැහැරගන්නා ලද මෙම මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම පිළිබඳ නිශ්චිත තීරණයක් ගත හැකි වන යම් ප්‍රගතියක් විමර්ශකයන් විසින් ලබාගෙන ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මාධ්‍යවේදියා මරාදමා ඔහුගේ සිරුර ත්‍රිකුණාමලයේ මුහුදට විසිකරන ලදැයි සැකයක් පසුගිය කාලයේදී ඇතිවී තිබුණා. මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන සාක්කියක් මේ දක්වාම විමර්ශකයන්ට හමුවී නැහැ. පැහැරගැනීමෙන් පසුව මෙම මාධ්‍යවේදියාට ඇතිවූ ඉරණම කුමක්දැයි නිශ්චය කරගත හැකි සවිමත් සාක්ෂි විමර්ශකයන් ඉක්මනින් සොයාගනු ඇත. එම ක්‍රියාවලිය මෙම විභාගයේ මනා හෙළිදරව්වක් වනු ඇතැයි ඔව්හු පවසති.

අධිකරණයට අවශ්‍යවූ වාර්තාවක් සපයනු සඳහා යුද හමුදා පොලිසියේ විශේෂ කණ්ඩායමක් ගිරිතලේ හමුදා කඳවුර වෙත යවන ලදැයි සති දෙකකට පෙර යුද හමුදාව නිවේදනය කළේය. මාධ්‍යවේදී එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධ පරීක්ෂණවලට අයත් ලේඛන රඳවා තබන ලද කබඩ් මෙම කණ්ඩායම විසින් යතුරුදමා සීල් තැබූ බව ද හමුදා ප්‍රකාශකයා කීවේය.

දිනමිණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්