රටේ දේශපාලනයට සම්බන්ධ තීරණාත්මක නඩු ගණනාවක් විභාග වෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණයේ වංචා හා දූෂණ සෙවීමට බව කියමින් ආණ්ඩුව නව ක්රියාවලියකට සූදානම් වේ.
අධිකරණ පද්ධතිය ආශ්රිතව වංචා දූෂණ සහ අල්ලස් ගැනීම් ඉහළ ගොස් ඇති බව පවසන ආණ්ඩුව එය වැළැක්වීමට නව ක්රියාමාර්ග ගන්නේ යැයි ප්රචාරයක් දියත්කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් මණ්ඩලය අදාළ නීති සම්මත කර ගැනීමේ කටයුතුවලට අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.
නීති ප්රවීණයින් පෙන්වා දෙන්නේ අධිකරණය ඉලක්ක කර ගත් නව අණ පනත් අවශ්ය නොවන බවයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු පවතින නිල ආයතනවලට අධිකරණ පද්ධතියේ සිදු කරන වංචා දූෂණ ආවරණය කිරීමේ හැකියාව නිසි බලතල පවතින බව ද පෙන්වා දී තිබේ.
එහෙත්, අධිකරණවල සුරක්ෂිතව තබා ඇති නඩු භාණ්ඩ සොරකම් කිරීම්, නඩු ලිපිගොණු සැඟවීම්, නඩු වාර්තාවල පිටපත් අනිසි ලෙස ලබාදීම්, නඩු වාර්තා අතුරුදහන් කිරීම් සහ එවැනි විවිධ විශමාචාර සම්බන්ධයෙන් වැටලීමේ පුළුල් බලතල ලබා දෙන බව කියමින් නව නීති ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටී.










