දැඩි ආර්ථික අසීරුකම් මැද ජීවත්වූ පවුලක පාසල් ශිෂ්යාවක් උපකාරක පන්ති යාමට ගාස්තු සොයා ගත නොහැකිව සිය දිවි නසා ගෙන තිබේ.
මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ බදුල්ලේ ප්රධාන පෙළේ පාසලක 11 වන ශ්රේණියේ ඉගනුම ලැබූ, බදුල්ල පුවක්ගොඩමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්යාවකි.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් ඇගේ මව 42 හැවිරිදි ෆව්සි ලිනායා කියා ඇත්තේ, ඇගේ සැමියාට ස්ථිර රැකියාවක් නොමැති බවත් මෙලෙස මියගොස් ඇත්තේ ඇයගේ දියණියන් සිව්දෙනාගෙන් වැඩිමහල් දියණිය බවත් ඇයට උපකාරක පන්තියට ගෙවීමට මුදල් නොමැති වීමෙන් වැසිකිළියට ගොස් මිත්තණියගේ ඖෂධ වර්ගයක් පානය කර ඇති බවත්ය.
ඒ බව දැන ගත් පසු ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් දැරියගේ මව ප්රකාශ කර ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්ය නිලධාරි ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක මෙය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබේ.










