උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චෝදනාව මත ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු කොරියානූ KCNA ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ විමර්ශනවලින් සහ සාක්ෂිවලින් මේ බව තහවුරු වී ඇති බවයි.
මේ පිළිබඳව වහාම ප්රතිචාර දක්වමින් ඇමරිකානු රජය පවසන්නේ ඔවුන් අහිංසක සංචාරකයන් දෙදෙනෙකු පමණක් බවයි. එක්සත් ජනපද හිතවාදී ජපන් පුවත් සේවයක් වාර්තා කරන්නේ අත්අඩංගුවට ගැනීමට හේතුව බයිබලයක් ගෙන යාම බවයි.
කෙසේ වෙතත් මීට පෙරද ඔත්තු බැලීමේ චෝදනාව මත ඇමරිකානු ජාතිකයන් කීප දෙනෙකුටම උතුරු කොරියානු අධිකරණය දඬුවම් ලබා දී තිබෙනවා. ඉන් බොහෝ දෙනෙක් ධර්මදූත සේවා නියෝජිතයන් බව ඇමරිකාව පවසනවා. ඒ නිසාම උතුරු කොරියාව වෙනත් ආගම්වලට ඉඩ නොදෙන අන්තවාදී රටක් ලෙස ඔවුන් ලැයිස්තුගත කර තිබෙනවා.
එහෙත් ජාත්යන්තර ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ මෙය ඇමරිකාවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමේ කපටි උපායක් බවයි. ඉතිහාසය පුරාම අධිරාජ්යවාදී රටවල් මිත්යාදෘෂ්ටිකත්වයෙන් මිනිසුන් මුදවා ගැනීමට යැයි කියමින් එක් අතකින් බයිබලයද අනෙක් අතින් තුවක්කුවද රැගෙන නොදියුණු රටවල් ආක්රමණය කර තිබෙන බවත් මෙයද ආගම භාවිතා කර තම අරමුණු ඉටු කර ගැනීමේ එක් අවස්ථාවක් බවත් ඔවුන් පවසනවා. එලෙස අධිරාජ්යවාදී රටවල් පමණක් නොව තුන්වන ලෝකයේ රටවල ආණ්ඩුද ආගම් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන ආකාරය ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ඇමරිකානු බුද්ධි අංශවලට ලඟාවීමට ඉතාම අපහසු රාජ්යයක් ලෙස උතුරු කොරියාව සැලකෙනවා. මේ නිසාම ඔත්තුසේවා මෙහෙයුම් මගින් උතුරු කොරියාව බිඳ වැට්ටවීම අපහසු වී තිබෙනවා. යුධමය ක්රියාමාර්ගද ඵල රහිත වී ඇත්තේ උතුරු කොරියාව න්යෂ්ටික අවිආයුධවලින් සන්නද්ධ වී ඇති බැවිනි. එමෙන්ම උතුරු කොරියාව පිළිබඳ බොහෝ තොරතුරු එරට මාධ්ය මගින් ප්රසිද්ධකරන තෙක් දැනගැනීමට නොලැබීමද CIA සංවිධානයට මහත් අවමානයක් වී තිබෙනවා.









