උතුරු ඉන්දියාවේ හර්යානා ප්රන්තය තුළ දින කිහිපයක් පුරා පවතින දරුණු උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් හමුදා වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතා ආරම්භ වී තිබෙන්නේ හර්යානා ප්රාන්තයේ ජත් කුලයට අයත් ජනතාවට වෙන් කරනු ලබන රැකියා ප්රමාණය වැඩි කරන ලෙස ඉල්ලමිනි. විරෝධතාවයන් සඳහා එම ප්රාන්තයේ දස දහස් ගණන් ජනතාව වීදි බැස තිබේ. විරෝධතාකරුවන් මහා මාර්ග, දුම්රිය මාර්ග අවහිර කර ඇති අතර මේ වනවිට මුළු උතුරු ඉන්දියාවේම කටයුතු අකර්මණ්ය තත්වයක් පත්ව ඇති බව පැවසේ.
විරෝධතාකරුවන් හර්යානා ප්රාන්තය හරහා දිල්ලිය වෙත ජලය සැපයෙන ප්රධාන ඇළ මාර්ගයක් මේ වනවිට අවහිර කර ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට දිල්ලියට දැඩි ජල හිඟයකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වේ.
හර්යානා ප්රාන්තයේ හීසාර් දිස්ත්රික්කයේ විරෝධතාවයේ නිරත පිරිස්වලට හමුදාව සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම සිදුවීමෙන් අනතුරුව විරෝධතාකරුවන් ප්රාන්තයේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ නිවාස ගිනිතබා විනාශ කර තිබේ. මේ වනවිට ප්රාන්තයේ විවිධ ස්ථානවල බස්රථ, යතුරුපැදි, රික්ෂෝ මෙන්ම පොදු දේපලද ගිනිතබා විනාශ කර තිබේ.
ඉන්දියාවේ ඇති උග්ර රැකියා වියුක්තියත්, දැඩි කුලවාදයත්, ඇති නැති පරතරය ඉහළ යෑමත්, දිළිඳු ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ ලඟ නොවීමත් හේතුවෙන් මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවැනිම ආකාරයේ විරෝධතා ඉන්දියාව පුරා පැණ නැගුණි.











