පවතින දේශපාලන අර්බුදකාරී තත්වයට එකම විසඳුම ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
පවතින දේශපාලන තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්නැයි ඉල්ලා සිටීම සඳහා ජනපතිවරණය පැවැත්වීමට පෙර වත්මන් ජනපතිවරයා සමග අවබෝධතා ගිවිසුම අත්සන් කළ සියලු බහුජන සංවිධාන නියෝජිතයින් අද (04) රාත්රී 8.00ට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළයුතු කාරණා සම්බන්ධයෙන් එකගතාවයක් ඇතිකර ගැනීම සඳහා එම සංවිධානවල නියෝජිතයින් අද උදැසන කෝට්ටේ නාග විහාරයේදී රැස් වී ඇත.
19 වන ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පත් වීම නිසා යැයි පැවසූ සෝභිත හිමියෝ විසි වන ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අපහසුම වුවහොත් විස්ස නොමැතිව ඡන්දයකට යාමට සිදුවිය හැකි බව කියති.
“මම නම් විස්ස සම්මත කර ගැනීමේ දුෂ්කරතාවක් දකින්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවට ගෙන එන්න බරපතළ අර්බුදයක් නැහැ. ආණ්ඩුවේ බහුතරය පිළිබඳ ගැටලු තිබෙනවා. ඒකයි ඉක්මන් මැතිවරණයක් අවශ්යය” මාදුළුවාවේ සෝභිත නාහිමියෝ තවදුරටත් පවසා තිබේ.









