ඇවන්ගාඩ් සිදුවීම යට ගැසීමටත් සති දෙකක කාලයක් ඒ ගැන කතා නොකොට නිහඬව සිටීමටත් තමාට මිලියන 20ක අල්ලස් මුදලක් ලබා දීමට සූදානම් වූ බව කැබිනට් ප්රකාශක අමාත්ය රාජිත සේනාරත්න මහතා ඊයේ (14) පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළේය.
ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී අවි ගබඩා පවත්වාගෙන යෑම, හමුදාවෙන් පලා ගිය සෙබලුන්ට රැකවරණය ලබා දීම, ත්රස්තවාදී සංවිධානවලට අවි ආයුධ විකිණීම ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන අතර ඇවන්ගාඩ් සමාගමේ ප්රධානී විශ්රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් මේ වනවිට ප්රකාශ ලබා ගෙන තිබේ.
ඇවන්ගාඩ් සමාගමට නීති විරෝධී කටයුතු සිදු කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂගේ සෘජු මැදිහත් වීමක් පැවැති බවටද මේ වනවිට හෙළිදරව් වී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොවීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
රාජිත සේනාරත්න ඇමතිවරයා ඊයේ හෙළිදරව් කර සිටියේ ඔහුට මිලියන 20ක අල්ලස් මුදල ලබා දීමට තැත්කළ පුද්ගලයාගේ මාසික ආදායම රුපියල් මිලියන 450ක් වන බවත් තමාට අල්ලස් ලබා දීමට සූදානම් වීමේ හඬ පටය තමා සන්තකයේ ඇති බවත් අවශ්ය මොහොතකදී එය ඉදිරිපත් කිරීමට සූදානම් බවය.









