ලෝකයේ බිලියනපතියන් වැඩිම පිරිසක් වෙසෙන නගරය බවට චීනයේ බීජිං නගරය පත් වීමත් සමග මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ඇමෙරිකාවේ නිව්යෝක් නගරය දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
නවතම වාර්තා අනුව 2016 වසර ආරම්භයෙන් පසුව චීනයේ බීජිං නගරයේ මේ වනවිට බිලියනපතියන් 100 ඉක්මවා ඇති බවට චීනයේ ක්රියාත්මක හියරන් නම් සමීක්ෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක් මගින් දක්වා තිබේ. ඔවුන්ට අනුව මේ වනවිට එම ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමි කර ගැනීමට චීනයේ වාණිජ අගනුවර ලෙස සැලකෙන ෂැංහයි නගරය පත්ව තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ කාලය තුළ බීජිං නරගයේ බිලියනපතියන් 32 දෙදෙනෙකු බිහිවී ඇති බව එම වාර්තාව මගින් දක්වා තිබේ. එම කාලය තුළ ඇමෙරිකාවේ බිලියනපතියන් බිහිවී ඇත්තේ සිව්දෙනෙකු බව පැවසේ. ලෝකයේ බිලියනපතියන්ගේ ලැයිස්තුව සකස් කොට ඇත්තේ ඔවුන් වසර පහක පමණ කාලයක් තුළ එක්රැස්කර ඇති වත්කම් ඇමෙරිකානු ඩොලර්වලින් ගණන් කිරීමෙන් අනතුරුවය.
මේ වනවිට ඇමෙරිකාවේ සිටින සමස්ථ බිලියනපතියන්ගේ සංඛ්යාව ඉක්මවා ඉදිරියට පැමිණීම චීනය සමත් ව තිබේ. මේ වනවිට චීනය තුළ බිලියනපතියන් 568 දෙනෙකු සිටින අතර ඇමෙරිකාව තුළ එම සංඛ්යාව 535කි. චීනයේ බිලියනපතියන්ගෙ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ වැන්ග් ජිආන්ලින් වේ. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 26ක් ඉක්මවන බව පැවසේ.









