ඇමතිවරු කරන විකාර කතාවලට එරෙහිව පාරට බහින්න අයිතියක් ගොවි ජනතාවට තිබෙනවා – අනුර

ඇමතිවරු කරන විකාර කතාවලට එරෙහිව පාරට බහින්න අයිතියක් ගොවි ජනතාවට තිබෙනවා යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශපාලනමණ්ඩල සභික අනුර දිසානායක මහතා පවසයි.

ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා එලෙස පැවසූ අතර වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.

“මේ වනවිට අපේ රටේ ගොවි ජනතාව ගැටලූ රාශියකට මුහුණ දෙමින් සිටිනවා. මේ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ට විසඳුම් ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කුමන්ත‍්‍රණ කතා අටවා අවලාද නගමින් සිටීමයි. ඊයේ (25) දිනමිණ පත්තරේ ශීර්ෂපාඨය “ජවිපෙ කුමන්ත‍්‍රණවලට හසුවෙන්න එපා” යන්නයි. අද කතුවැකියත් වෙන්කර තිබෙන්නේ කුමන්ත‍්‍රණ කතා ඇටවීමටයි. නමුත් අද ගොවිජනතාව මුහුණ දී තිබෙන ඇත්ත ප‍්‍රශ්න මොනවාද යන්න ආණ්ඩුවට කිසිම අවබෝධයක් නැහැ. දිනමිණ කතුවරයා ඇතුළු පුවත්පත් කලාවේදීන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පළකරන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය සකසා දෙන ජනතා විමුක්ති පෙරමුණට එරෙහි අවලාද සහ කුමන්ත‍්‍රණ කතා.

ඇත්තටම අපේ රටේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලූ මොනවාද? ඒ ප‍්‍රශ්වලට හේතු සාධක කවරේද? යන්න ගැන ආණ්ඩුව කිසිවක් සොයාබලා නැහැ. මූලින්ම ඔවුන් මුහුණ දෙන ගැටලූව ගුණාත්මක බීජවල හිඟකමයි. බහුජාතික සමාගම්වලින් බීජ ලබාගැනීමට සිදුවී තිබෙනවා. ගස්ලබු බීජ කිලෝ එකක් රුපියල් 7,50,000 (හත්ලක්ෂ පනස්දාහ) යි. මිරිස් ඇට කිලෝ එකක් රු. 75,000 (හැත්තෑ පන්දාහ) යි. ගෝවා ඇට කිලෝ එකක් රු.45,000 (හතලිස් පන්දාහ) යි. රජයේ බීජ ගොවිපළවල් සංවර්ධනය කර ගුණාත්මක බීජ ගොවියන්ට ලබාදීම පිළිබඳ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති නිසා බහුජාතික සමාගම් මේ අකාරයට ගොවියා සූරාකමින් සිටිනවා. මේ බීජ කිලෝ එකක් වරායෙන් ගොඩබාන අවස්ථාවේදී මිල තීරණය වී තිබෙන්නේ වෙළෙඳපොළේ විකුණන මිලෙන් 1/3කට ආසන්න මුදලක්. ඔවුන්ගේ ගසා කෑමේ ප‍්‍රමාණය එයින් සිතා ගත හැකියි. නමුත් ආණ්ඩුව කරමින් සිටින්නේ කුණ්ඩසාලේ ගොවිපොළ සහ කෘෂිකර්ම විද්‍යාලය ඩෝසර් කර ගුවන්තොටුපළවල් හැදීමේ මේනියාව ඉටුකර ගැනීමයි.

පසුගිය මාස්කන්නයේ වී අස්වැන්න සාධාරණ මිලකට විකුණාගත නොහැකි වුණා. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ගොවීන් සඳහන් කරන ආකාරයට වී කිලෝ එකක් නිෂ්පාදන වියදම රු.29.70ක් වෙනවා. ඔවුන්ට වී විකුණාගැනීමට සිදුවුණේ රුපියල් 20-21 අතර මිලකට. මේ සිදුවී තිබෙන්නේ අතින් කා හරක් බැලීමේ කි‍්‍රයාවලියයි. වී මිලදී ගැනීමේ නිසි ප‍්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ගබඩා කිරීමේ ක‍්‍රමවේදයක් ආණ්ඩුවට නැහැ. මේ තත්වය යටතේ ගොවියෝ උද්ඝෝෂණය කරනවා. වී ගොවියන් වගේම ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියන් මහ පාරට ඇවිත් විකුණාගත නොහැකි කෙසෙල් කැන් විනාශ කරමින් විරෝධය පළකළා. කිරි ගොවීන් කිරි නිෂ්පාදන කාණුවලට හලා විරෝධය පළකළා. වැලිමඩ, දඹුල්ල තක්කාලි ගොවීන්ගේ අස්වැන්න විකුණාගත නොහැකිව කඳු වශයෙන් ගොඩ ගැහුව්වා. රාජපක්ෂ පාලනයට කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳව කිසිම දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැහැ. ඉබාගාතේ යන්නට හැර තිබෙනවා. ගොවියාගේ ජීවිත සුරක්ෂිත නැහැ. ඔහුගේ සෞඛ්‍ය තත්වය අධ්‍යාපනය, පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම, නිවාස සාදාගැනීම ඇතුළු බාහිර කරුණු අත්හරින්න සිදුවෙලා. ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම උපදේශක හේමකුමාර නානායක්කාර මහත්තයා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට යවමින් මේ සියලු කරුණු සඳහන් කර තිබෙනවා. දිනමිණ කළ යුතුව තිබෙන්නේ මේ කරුණු හෙළිදරව් කිරීමයි. ශීර්ෂ පාඨ කතු වැකි ලිවීමයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිර්මාණය කර දෙන අවලාදවලින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ප‍්‍රවෘත්ති පළකිරීමේ කටයුත්තයි. මේ නිසා ජනතාවගේ සැබෑ ගැටලූවලට පිළිතුරු සොයනවා වෙනුවට වෙනත් පක්ෂවලට එරෙහිව කුමන්ත‍්‍රණ, චෝදනා කරමින් සිටිනවා. මේ තත්වය අපි බරපතල ලෙස හෙළා දකිනවා.

මේ වනවිට ගොවි ජනතාව උග‍්‍ර ජල හිගයකට මුහුණ දී සිටිනවා. රාජාංගන වැවෙන් පෝෂණය වන වයඹ සහ රජරට ගොවි ජනතාව නාච්චාදූව, කලාවැවෙන් පෝෂණය වන රජරට ගොවි ජනතාව මේ තත්වයට බරපතල ලෙස මුහුණ දී සිටිනවා. මේ උග‍්‍ර ජල හිගය ඇතිවූයේ නිකම්ම නොවේ. අපේ රටේ වැව් 32,000 ක් පමණ පෙර රජවරු සමයේ තිබී ඇති බවත් දැනට වැව් 14,000 ක් පවතින බවත් ගණනය කර තිබෙනවා. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් හලාවත සිට හෙට්ටිපොළට පාරක් කැපීමේදී වැව් 50 ක් පමණ විනාශ කර තිබෙනවා. අද පවතින වැව් 14,000 න් 12,000 ක් පමණ බිඳි යෑමේ දැඩි අනතුරක පවතින බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරයේ පවතින කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා, සමනල වැව ආදී ජලාශවල මේ වනවිට 50% ක් පමණ රොන්මඩින් පිරී ඇති බව පැහැදිලියි. ඒ වගේම පසුගිය වර්ෂාපතනයත් එක්ක රජරට වැව්වල සොරොව් විවෘත කර ජලය මුහුදට මුදා හැරියා. මේ සියලූ තත්වයන්ගේ ප‍්‍රතිඵලයක් විදියට අද උග‍්‍ර ජල හිගයකට මුහුණ දී සිටිනවා. ඒ වගේම ගිරිතලේ, සොරබොර, ඉබ්බන්කටුව, මින්නේරිය, අනුරාධපුර නුවර වැව ඇතුළු වැව් 22ක් සී ප්ලේන් ගොඩබැස්සවීමේ ව්‍යාපෘතිවලට ටෙන්ඩර් මගින් විකිණීමට කටයුතු කළා. විදේශිකයින්ගේ ගත සිත පිනවීම රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත්වී අවසන්. ඒ තත්වය දේශීය වශයෙනුත් ඒ ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කිරීම නිසා පොසොන් සමයේ පිරි තිබුණු කලාවැව මේ වනවිට සිඳී ගොස් තිබෙනවා. පොසොන් පෝයට අනුරාධපුරයට එන බැතිමතුන්ගේ සිත් සතන් පිනවීමට කලාවැවේ වතුර මුදා හැර නුවර වැව සහ තිසා වැව පිරෙව්වා. ගොවීන් අමාරුවේ වැටුණේ මෙවැනි ඔළමොට්ටළ තීරණ නිසයි.

ඇමතිවරයා කෘෂිකර්මය ගැන කිසිම අවබෝධයක් නැතිව වහසි බස් දොඩවමින් ඉන්නවා. මුළු කුඹුරු ප‍්‍රමාණයෙන් 40%ක වී වගා කර ඉතිරි 40%ක ගොඩ බෝග වගා කර ඉතිරි 20% අත්හරින ලෙස උපදෙස් දී තිබෙනවා. මේ ක‍්‍රමයට කියන්නේ බෙත්ම ක‍්‍රමය කියලයි. වතුර අඩු කාලයට බෙත්ම ක‍්‍රමය මගින් වගා පාලනය කිරීම සාමාන්‍ය සිරිතයි. නමුත් මේකට අදාළ සැලැස්ම කන්න රැස්වීමේදී සාකච්ඡා කළේ නැහැ. එහෙම නැතුව ගොවීන්ට වගා අත්හරින්න කීවාට වැඩක් නැහැ. අදාළ සැලසුම් සකස් කර කි‍්‍රයාත්මක කිරීමට ගොවීන්ට උපදෙස් දිය යුතුයි. එහෙම සැලසුම් සකස් කළ බවට පුළුවන් නම් හෙළිකරන ලෙස අපි අභියෝග කරනවා. ඒ අතර ඇමතිවරයා කියන්නේ වගා පාලුවීම් නිසා වන්දි ලබාගැනීමේ අරමුණින් ගොයම් මැරී යාමට ඉඩ හැර ඇති බවයි. අපේ සම්ප‍්‍රදායට අනුව කුඹුරට, කමතට සෙරෙප්පු දාගෙන වත් ගොවියා බහින්නේ නැහැ. ඒ වගේ තත්වයක් යටතේ වන්දි ලබාගැනීමේ අරමුණින්. ගොයම් මිය යෑමට ඉඩ ඇති බව ඇමතිවරයා පවසන්නේ කිසිදු වගකීමක් නැතිවයි. ගොවි ජනතාව වී වගා කළේ නියං වන්දි ගන්න නොවේ. අඩුම ගානේ තුන්වේල බත්කාලා ඉන්නයි. මෙහෙම තියෙද්දී ඇමතිවරු කරන මේ විකාර කතාවලට එරෙහිව ගොවි ජනතාව අරගල කරන එක පුදුමයක් නොවේ. එවැනි අරගල වෙනුවෙන් පාරට බහින්න අයිතියක් ගොවි ජනතාවට තිබෙනවා. දිනමිණ කතුවරයාටත් ජනාධිපති මාධ්‍ය ඒකකයටත් අපි කියන්නේ මේ ගොවි ජනතා අරගලයේ පෙරමුණේම ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බවයි. අද ඇතිවී තිබෙන ස්වභාවික නොවන ජල හිගයට ආණ්ඩුවේ වගකීමෙන් මිදෙන්න බැහැ. එවැනි තත්වයක් යටතේ මේ රටේ ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පසුබට වන්නේ නැහැ.

“අපි වවමු – රට නගමු” වැඩපිළිවෙළ වගේම “දිවි නැගුම” ගැන ආණ්ඩුව කතා කළත් ලොකු ලූණු ආනයනය 2005 අවුරුද්දේ මෙට්‍රික් ටොන් 110,713 (එක්ලක්ෂ දහදහස් හත්සිය දහතුන) ක සිට 2011 වනවිට මෙට්‍රික් ටොන් 170,731 (එක්ලක්ෂ හැත්තෑ දහස් හත්සිය තිස් එකයි) ක දක්වා වැඩි වී තිබෙනවා. වියලි මිරිස් ආනයනය 2005දී මෙට්‍රික් ටොන් 27,260 (විසිහත්දාස් දෙසිය හැට) සිට 2011 අවසාන වනවිට මෙට්‍රික් ටොන් 42,535 (හතලිස් දෙදහස් පන්සිය තිස්පහ) ක් දක්වා වැඩිවී තිබෙනවා. උඳු ආනයනය 2005 දී මෙට්‍රික් ටොන් 4,611 (හාරදහස් හසිය එකොළහ) සිට 2011 අවසානයේදී මෙට්‍රික් ටොන් 7,084 (හත්දහස් අසූහතර) දක්වා වැඩිවී තිබෙනවා. අර්තාපල් ආනයනය 2005 දී මෙට්‍රි ක්ටොන් 40,750 (හතලිස් දහස් හත්සිය පනහ) සිට 2011 අවසාන වනවිට මෙට්‍රික් ටොන් 130,511 (එක්ලක්ෂ තිස්දහස් පන්සිය එකොළහ) ක් දක්වා වැඩිවී තිබෙනවා. ආණ්ඩුවේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය ප‍්‍රචාරණ ව්‍යාපෘතිවලින් ඉදිරියට ගිය ප‍්‍රායෝගික එකක් වූයේ නම් මේ වගේ පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය වැඩි වන්නේ නැහැ.

අද මේ ඇතිවී තිබෙන්නේ දරුණු නියඟයක ප‍්‍රතිඵලයක් නොවේ. වැස්ස නතර වී දැන් මාස දෙකක් විතර වෙනවා. වර්ෂාව නොලැබුණේ කෙටි කාලයකට පමණයි. මේ කාලය තුළදී රජරට ප‍්‍රදේශයේ සියලූම වැව් සිඳී යෑමට හේතුවක් නැහැ. නමුත් සිදුකර තිබෙන්නේ වැව්වල ජලය බස්සවා ඇමතිවරුන් වැව් තාවුල්ලේ හෝටල් ඉදි කිරීමයි. සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් මේ දේ කරගෙන යනවා. මේ තත්වයත් ගොවියා අද මුහුණ දී සිටින උග‍්‍ර ජල හිගයට හේතුවක් වී තිබෙනවා. රාජපක්ෂ පාලනය ගෙනයමින් සිටින ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවල එක ප‍්‍රතිඵලයක් ලෙස ගොවි ජනතාව බිඳවට්ටවමින් තිබෙනවා. මෙම අකාර්යක්ෂම පාලනය කෙරෙහි සියලු ජනකොටස්වල විරෝධය එල්ලවීම වළක්වන්න බැහැ. එහි එක පියවරක් විදියට ගොවි ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙනයන අරගලයට ගොවීන්ගේ සහභාගිත්වය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණවලින් වගේම මඩ අවලාදවලින් නැවැත්විය නොහැකි බව තේරුම් ගැනීම ආණ්ඩුවට ඉතා වැදගත්. තමන්ගේ වගකීම් ඉටු නොකර අනුන් මත කුමන්ත‍්‍රණ කතා පටවමින් බේරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කළ යුතු වෙනවා. ගොවි ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගත හැක්කේ ආණ්ඩුවේ මේ අත්තනෝමතික සහ අමන තීරණ පරාජය කිරීමෙන් පමණයි. ඒ සඳහා කුමන්ණකාරී කටයුතුවල යෙදීමෙන් නොව එළිපිටම ගොවි ජනතාව සංවිධානය කරමින් ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ සක‍්‍රීය දායකත්වය ලබාදෙනවා.”

ජවිපෙ මධ්‍යමකාරක සභික නලින්ද ජයතිස්ස මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී විය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්