ආබෲ බේරන්න මහේස්ත්‍රාත් පක්ෂග්‍රාහි වූ බව හෙළි වේ

ගෘහ සේවිකාවකට පහර දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට බාරවූ දවසේ ඔහුගේ ඉහළ නිලය හමුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් දැඩි ලෙස පක්ෂග්‍රාහිව කටයුතු කළ බව නීතිපති නිරික්ෂණය කළැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබේ.

කෝදාගොඩ මහතා එසේ ප්‍රකාශ කර ඇත්තේ තමා අත් අඩංගුවට නොගන්නැයි විනිසුරු අබෲ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේ කරුණු දක්වමිනි.

ගල්කිස්ස උසාවියේ නඩු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරු ඉන්පසුව නියෝග කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම නඩුවට මැදිහත් වන බව නීතිඥ සංගම් සභාපති වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සිඩ්නි අසීස් මහතා ප්‍රකාශ කර ඇති අතර නීතිවේදී ජේ.සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් කියා ඇත්තේ විනිසුරු නිවසේ ගෘහ සේවිකාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමාද පෙනී සිටීමට උසාවියේ අවසර ඉල්ලන බවයි.

මෙම විනිසුරු මීට පෙරද නිවසේ සේවකයනටත් රාජකාරි කළ පොලිස් සාමාජිකයනටත් තාඩන පීඩන කර ඇති බවට පැමිණිලි ඇතැයිද නිවසේ සේවිකාව වග උත්තරකාරියක නොවුනත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වන බවද වැලි අමුන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්