ආපදා තත්වයෙන් පසු රට නැවත ගොඩනැඟීමට සියලුදෙනා දායක කර ගනිමින් දිගුකාලීන ශක්තිමත් අරමුදලක් – ජනපති

ආපදා තත්වයෙන් පසු රට නැවත ගොඩනැඟීමට සියලුදෙනා දායක කර ගනිමින් දිගුකාලීන ශක්තිමත් අරමුදලක් – ජනපති

ආපදා තත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය – පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සියලුදෙනා දායක කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර දිසානායක පැවසීය.

ජනාධිපති මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

මතුපිටින් පෙනෙන තත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් හේතුවෙන් රටට සිදුව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති, භාණ්ඩාගාර මුදල්වලින් පමණක් එම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවද පෙන්වා දුන්නේය.

මේ සඳහා ආකාර කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර දිසානායක දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බවත්, එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බවත් සඳහන් කළේය.

ආපදා තත්වය හේතුවෙන් නිවාස, කුඹුරු, වගාබිම්, මහාමාර්ග, පාලම්, රජයේ ගොඩනැගිලි පාසල් සහ ඇතැම් ස්ථානවල විදුලි කණු පවා බිද වැටී තිබෙන බවත්, නාය යාම් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව ආපදාවෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට සිදුව ඇති හානිය සහ නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ලේඛනයක් සැකසීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර, ලෝක බැංකුව වෙත දැනටමත් Global Rapid post-disaster Damage Estimation (GRADE) සකස් කිරිමට බාර දී තිබේ. ඒ අනුව Global Rapid post-disaster Damage Estimation සති දෙකක් වැනි කාලයක් ඇතුළත ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, කම්කරු ඇමති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජොන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් නියෝජනය කරමින් ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්