ආණ්ඩුව ගෙදර යවන ගොවි සටන හෙට (29) අරඹනවා

ආණ්ඩුව ගෙදර යවන ගොවි සටන හෙට (29) අරඹනවා

ආණ්ඩු හැදූ, ආණ්ඩු කැඩූ, ආණ්ඩු සම්බන්ධ තීන්දු ගත්, ගොවීන්ගේ ආණ්ඩුව ගෙදර යවන දැවැන්ත සටන හෙට (29) පොළොන්නරුවෙන් අරඹන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නාමල් කරුණාරත්න පවසයි.

මෙපමණ කලක් ගොවීන් පොහොර, වගා වන්දි සහ අනෙකුත් සහන ඉල්ලූ නමුත් හෙට ගෙන එන්නේ ආණ්ඩුව වහාම ගෙදර යන්නැයි කරන සංඥාව බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව ගෙදර යවන මෙම දැවැන්ත පෙළපාළිය පොළොන්නරුව වකුගඩු රෝහල අසළින් ආරම්භ කර පස්වරු 2.00ට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළදී රැලියක් පවත්වන බවත්, එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගොවියන් අමතන බවත් ඔහු පවසයි.

රටේ වැඩිම ඡන්දදායකයන් පිරිසක් නියෝජනය කරන්නේ ගොවීන් වන අතර ආණ්ඩු සම්බන්ධ තීරණ ගැනීමට ඔවුන්ට ඉතා වැඩි බලයක් පවතින බව ආණ්ඩුව අවබෝධ කරගත යුතු යැයිද ගොවි නායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

වී, එළවළු, පලතුරු ඇතුළු සියලුම දෑ වගා කරන ගොවීන් කැඳවනවා සේම ගොවි සටනට සම්පූර්ණ සහාය දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

තවදුරටත් ආණ්ඩුවට ගොවියන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බැවින් ආණ්ඩුව වහාම සිහසුනෙන් බැසීමට සූදානම් වන ලෙස පවසමින් හෙතෙම වැඩිදුරටත් ආරාධානා කරයි.

අනුරාධා – මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්