මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ප්රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාව සිංගප්පූරුවට ගොස් අත් අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රජයට නීතිමය හැකියාවක් නොමැති බැවින් ශ්රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා ඔහු නොමැතිව නඩුව විභාගයට ගෙන තීන්දුවක් ලබාදිය යුතු බව හිටපු අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්ය හමුවක් අමතමිනි.
“අපට ගිහිල්ලා වෙනත් රටක කෙනෙක් අත් අඩංගුවට ගන්න බැහැ. ඒ අත් අඩංගුවට ගන්නකොට නීත්යානුකූල තත්වය ඒ රටේ රජය විසින් අපට සකස්කර දිය යුතුයි. ඒක තමයි තියෙන ප්රශ්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එසේ නම් බැඳුම්කර වංචාවට එරෙහිව ශ්රීලපොපෙට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාවට සාධාරණය ඉටු කරන්නේ කෙසේදැයි මාධ්ය වේදියෙකු විමසීමේදී…
“ඇත්ත වශයෙන්ම ඒ සාධාරණය ඉෂ්ඨ කරගන්න ඕනෙ. ඒ සාධාරණය ඉෂ්ඨ කරගන්න තියෙන එකම දේ ඔහු නැතුව ඒ නඩුවට තීන්දුවක් දෙන්න ඕනෙ එහෙම නම්. දැනට. ඔහු විතරක් නෙවෙයි, මහමොළකරුත් මේකට වගකියන්න ඕනෙ. ඒ සියලු දේට දඬුවම් දිය යුතුයි කියලා අපේ මතයක් තියෙනවා ඉතින්…” යනුවෙන් ඒ මහතා පිළිතුරු දුන්නේය.










