ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම 14%කින් අඩු වන බව ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.
ඒ අනුව අයවැයෙන් ඉලක්කගත ආදායම අඛණ්ඩව අහිමව 33 වැනි වසරද බවට මෙම වසර ඉතිහාස ගත වන බවද එම වාර්තාව අනුව දැක්වේ.
ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164ක ආදායමක් අපේක්ෂා කළද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570ක ආදායමක් පමණක් යැයි පවසන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම හිඟයෙන් 61%ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි 39% සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇතැයි හදුනාගත් බවත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක පසුරාගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්ෂා කළ ආදායම් ඉලක්කයද 13%කින් අඩු වූ බවද පාර්ලිමේන්තුවේ ක්රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.
‘ද ස්ටේට් ඔෆ් ද බජට්’ වාර්තාව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක් වන අතර එම වාර්තාව https://publicfinance.lk වෙබ් අඩවිය ඔස්සේ ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් කරයි.
ලංකාදීප










