අන්තෝ ජටා-බහි ජටා ඇතුළෙත් කචල් පිටත් කචල්

“ඩිලාන්ට ඊළඟ සැරේ ඡන්දෙ ඉල්ලන්න වෙන්නෙ කොරියාවෙන්” මේ මහින්ද බදුල්ලෙදි කියපු කතාවයි. බදුල්ලෙ ප‍්‍රසිද්ධ රැස්වීමකදි මහින්ද මෙසේ කිව්වේය. මෙහෙම කියන්න වුනේ බදුල්ලෙ බිම අල්ලා ගැනීමේ සටන නිසාය. බිම අල්ලා ගැනීමේ සටන ඇත්තේ නිමල් සිරිපාල සහ ඩිලාන් පෙරේරා අතරය. මහින්ද බදුල්ලට එන රැස්වීම ගැන නිමල් පෝස්ටරයක් කළේය. ඩිලාන්ද පෝස්ටරයක් කළේය. දෙන්නගෙ කට්ටිය තරඟෙට පෝස්ටර් ඇලෙව්වෝය. ඒ වගේම දෙන්නගෙ කට්ටිය තරඟයට පෝස්ටර වැහුවෝය. ද්වන්ධ සටන ඒ තරමට ම උග‍්‍රය. පළාත් සභා ඡන්දෙ ඉල්ලන්නෙ මොවුන් දෙදෙනාගෙන් කව්රුවත් නොවේය. ඒත් දැන් තියාම දෙන්නා අතරෙ සටන ඇවිලිලාය. බදුල්ලෙ හැම තැනම මහින්දයි ඩිලානුයි ඉන්න කටවුට් ගහලාය. ඒ ඊට නොදෙවෙනිව නිමලුයි මහින්දයි ඉන්න කටවුට්ද ගහලාය. මේ පොරය දැන් බදුල්ලේ කාටවත් රහසක් නොවේය. එය එළිපිටම සිදුවෙන පොරයක් ය.

මොනරාගලට ගියාම එහෙත් හරි පොරයක්ය. ඒ පොරය ඇත්තේ විජිතමුණි සොයිසා සහ ජගත් පුෂ්ප කුමාර අතරය. මේ දෙන්නම එකාට එකා මඩ ගහ ගනිති. පුෂ්පෙ දෙන පොල් පැල කන්න සොයිසා අලි එවනවා යැයි මිනිස්සු කියති. මේ දෙන්නාගෙ රන්ඩුව පසුගිය කාලය පුරාම මාධ්‍යවලින් දැක ගත හැකි විය. මේ දෙන්නාම සුමේධා ඇමතිනියත් එක්කත් තරහය. හැබැයි තරහ පෙන්වන්නේ නැත. ඒත් හැමදාම යටින් අංචි අදින එකේ නම් කෙළවරක් නැත. මේ රණ්ඩුව අස්සේ ශෂීන්ද්‍ර රාජපක්ෂ පාර්ලිමේන්තු ඇමැතිවරු ඔක්කොම යටකරගෙන තමන්ගෙ බලය පතුරවමින් සිටියි. ශෂීන්ද්‍රගෙ ප‍්‍රධාන වැඩේ මේ තුන්දෙනාම යට කර ගැනීමය. එය දැනටමත් සිදුකරගෙන හමාරය. ශෂීන්ද්‍රගෙ වැඩ කිසිවකට දිස්ති‍්‍රක්කයේ ඇමැතිවරු කාටවත් ඇඟිලි ගහන්නට බැරිය. ඇමැතිවරු තුන්දෙනා ආසන තුන බෙදාගෙන හිටියත් ශෂින්ද්‍ර ඒ හැමතැනකටම රිංගන්නේය. වැඩ අවුල් කරන්නේය. මේ මැදිහත් වීමට අර තුන්දෙනාම වෙන වෙනම හැප්පෙන්නේය. කොහොම වුනත් අන්තිමට තැලෙන්නේ මිනිස්සුය. කොච්චර ලොකු ඇමැතිකම් දැරුවත් රජ පවුලේ පැටව් එක්ක හැප්පෙන්න තරම් කොන්දක් ඇමැතිවරු කාටවත් තියෙන බවක් පෙනෙන්නට නැත.

මේ තත්වය අද හැම දිස්ති‍්‍රක්කයකම ඇත. ආණ්ඩුවේ ම ඇමැතිවරු දෙපැත්තට බෙදී ගහ ගන්න එක ප‍්‍රසිද්ධ රහසක් ය. මේ ගහ ගන්නේ පංගුව බෙදා ගන්නට ය. රණ්ඩුව එන්න එන්නම දරුණු වන්නේ තියෙන පංගුව එන්න එන්නම පුංචි වෙන නිසාය. මුලදි නම් පංගුව ටිකක් ලොකුය. ඒ නිසා කව්රුත් තමන්ගෙ කොටස වෙන් කරගෙන පැත්තකට වුන්ය. ඒත් දැන් එහෙම කරන්නට බැරිය. තියෙන පංගුව එක්කෙනෙකුටත් මදිය. තව ඉස්සරහට තව තවත් පංගුව කුඩා වන්නේය. එතකොට මරා ගැනිල්ල තවත් වැඩිය. ආණ්ඩුව පිරිහෙනකොට පංගුව කුඩා වෙන එක සක්කරයටවත් වළක්වන්නට බැරිය. අද ආණ්ඩුව ඇතුළෙ ඇමැතිවරු හා මන්තී‍්‍රවරු අතර මරා ගැනිල්ලට ඇත්ත හේතුව මෙයයි.

ආණ්ඩුවෙ ඉහළ ගත්තත් තත්වය එසේමය. මුලදි එකට හිටපු පක්ෂ අතරෙ පොරය ඇවිලෙන්නට පටන් අරන් තියෙන්නේ මේ හේතුව නිසාය. වේගයෙන් පිරිහෙන ආණ්ඩුවෙ ඉතුරුවෙලා තියෙන ඡන්ද ටික තම තමන්ට බෙදාගන්න දැන් තියාම පටන් අරගෙනය. ඒකට එක එක ජාතියෙ සෙල්ලම් දානවාය. හෙළ උරුමය පසුගිය කාලයේ එක එක නාඩගම් පෙන්නුවේ ඒකටය.

අදටත් ඒ ජවනිකා අවසන් වී නැත. ජා.නි.පෙ. නාඩගම නම් සැබෑම විහිළුවක් වී අවසානය. මහ ලොකුවට යෝජනා ගැන කතා කරපු මහත්තුරු දැන් යෝජනා රෝල් කරගෙන පස්සා පැත්තේ ගසාගෙන ඇත. මේ අතරෙ ආණ්ඩුව ඇතුළෙ ඉන්න එක එක ජාතියෙ අය තමන්ගෙ ගොඩ බේරා ගන්නට නොගන්නා උත්සාහයක් නැත. හකීම් කරකියා ගන්න දෙයක් නැති තත්වයට පත්ව ඇත. එක පැත්තකින් ඇමැතිකම් බේරා ගන්නට ඕනෑය. අනිත් පැත්තට ඡන්ද ටික බේරා ගන්නට ඕනෑය. මේ දෙකම කරගන්න ගොස් අද රටේ අධිකරණ ඇමැති පත්වී ඇති තත්වය හරිම විහිළු සහගතය. රිෂාද් බදියුද්දීන් තමන්ගෙ ඡන්ද රැක ගන්න උපරිමයෙන් මුස්ලිම් ජාතිවාදය අවුස්සන්නට පටන්ගෙන ඇත. සිංහල ජාතිවාදය අවුස්සන මහත්තුරු ඒ හරහා ඡන්ද ටික රැක ගන්න හදනකොට මුස්ලිම් මන්තී‍්‍රවරු මුස්ලිම් ජාතිවාදය අවුස්සා ඡන්ද රැක ගන්න උත්සාහ දරති. මේ කෙසේ වෙතත් මේ හැම එකකින්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒකමිතිය බිඳ වැටී ඇත. හැමවෙලාවෙම ජනතාවට අහන්න ලැබෙන්නේ එකාට එකා නැති එකාට එකා විරුද්ධ ප‍්‍රකාශයන්ය.

ආණ්ඩුවේ ඡන්ද පදනම කඩාගෙන වැටෙන හැම මොහොතකම අභ්‍යන්තර කුලල් කා ගැනීම් එළියට එන්නේ ය. බස්නාහිර දකුණ ඡන්දෙන් පස්සෙ මේ තත්වය බොහෝ දුරට වර්ධනය විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට විරුද්ධ යෝජනාවක් ගෙන ඒමේ එක උවමනාවක් වූයේ මෙම ඇතුළෙ ගැටුම වහගන්නටය. ඒත් සිදුවූයේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. අලුත් ගැටුම් මතුවන්නට විය. අද වෙකොට ආණ්ඩුවේ අධිකරණ ඇමැති ම රටේ නීතියක් හරියට කි‍්‍රයාත්මක වන්නේ නැතැයි කියා ඇත. එය මුළු ලෝකයටම දැනගන්නට ලැබුණි. තත්වය එසේනම් පිල්ලෙලා කමිටු පත් කිරිම නතර කරන්නේ නැත. පාර්ලිමේන්තුවෙ මොන යෝජනා සම්මත කළත් පිල්ලෙගේ කමිටුව පත්කර අවසාන ය. එකී කමිටුව හෙට අනිද්දා වැඩ පටන් ගන්නේය. අලුත්ගම, බේරුවල ඇතිවූ සිදුවීම් පිළිබඳව හකීම්ලා දැනටමත් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. ඉදිරියේදී ඒ ගැන පරීක්ෂා කරනු ඇත. එතකොට ආණ්ඩුවට ඊට වග උත්තර බඳින්නට සිදුවෙනු ඇත. එය මග හැරිය නොහැක. කමිටුවට විරුද්ධ යැයි කියා මගහැර සිටියහොත් අලුත්ගම, බේරුවල සිද්ධිවල චෝදනාවලින් ආණ්ඩුවට ගැලවීමක් නැත. එසේනම් එදාට ශී‍්‍ර ලංකා ආණ්ඩුව ඒකට උත්තර බඳිනු ඇත.  මොනතරම් විරුද්ධව යෝජනා ගෙනාවත් එදාට ජී.එල්. පීරිස් මහත්මයා එයට උත්තර බඳිනු ඇත. උත්තර බැන්ද විගස කමිටුව පිළිගත්තා යන්න තහවුරුවීම වැළැක්විය නොහැක.

මෙවන් තත්වයක් හමුවේ අභ්‍යන්තර අවුල තව තවත් වර්ධනය වන්නේය. නැව ගිලෙන්න යන විට කව්රු කව්රුත් පණ බේරා ගන්නට උත්සාහ දරති. අද ආණ්ඩුව ඇතුළෙ තත්වයද එසේමය. විධායක බලය පාවිච්චි කර ගනිමින් එය මැඩ පවත්වන්නට උත්සාහ ගත්තද එය සැමදා සාර්ථක වන්නේ නැත. විධායක බලය යොදා ගනිමින්ම පවත්වාගෙන යන පවුල් පාලනයට ආණ්ඩුව ඇතුළෙ ඇමැතිවරු බහුතරයක් විරුද්ධය. එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒත් අප‍්‍රසිද්ධියේ කියන්නේ නිකම් නොවේය. තිත්තම තිත්ත කුණු හරුපයෙන් ය.

පසුගිය දවස්වල කැබිනට් මණ්ඩලයේ කතා කරන ඒවා පිටට යන එක වළක්වන්න විවිධ පියවර ගත්තේ ය. ජංගම දුරකථන ගෙන එන එක පවා තහනම් කළේය. ඒත් කැබිනට් එක තුළ කතා කරපු හැමදෙයක්ම පහුවදා පත්තතරවල පළවෙන එක නතර කරන්නට බැරි විය. ඒක තාමත් එලෙසම ය. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ කැබිනට් රහස් ඔක්කොම එළියට ආවේය. ඒ රහස් දුන්නෙ මහින්ද කියල මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉන්න හැමෝම දන්නෝය. ඒ චන්ද්‍රිකා-මහින්ද ගැටුම නිසාය. අද රජ පවුලට විරුද්ධ අයගෙන් තොරතුරු එන්නේය. ඒ විතරක් නොවෙයි එකාට එකා මරාගැනිල්ල නිසා ද ඔක්කොම එළියට එන්නේ ය. අභ්‍යන්තර ගැටුම උග‍්‍රවෙන්න වෙන්න තව තව බඩු එළියට එන්නේ ය. එ.ජා.ප.යේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දු තීරණ එළියට එන්න ගත්තේත්  මෙවන්ම අභ්‍යන්තර අවුලක් නිසාවෙනි. රනිල්  පාර්ශ්වය සජිත් පාර්ශ්වය අතර ගැටුම නිසා රටේ මිනිස්සු සියලු අවුල් දැන ගත්තේය. එලෙසින්ම ආණ්ඩුව ඇතුළෙ කචල් ඔක්කොම අද එළියට එන්නේ ය. කචල් විතරක් නොවෙයි කඩාගෙන වැටෙන ආණ්ඩුව බේරාගන්න හදන සැලසුම් එන්නේ ද එලෙසින්ම ය.

බුද්ධි අංශය හරහා කරගන්න ගිය දේවල් එළියට එන පාරත් මේ පාරමයි. මොන මොන සැලසුම් හැදුවත් ඒ සියල්ල එළියට එන්නේය. එයට ප‍්‍රධානතම හේතුව වන්නේ අභ්‍යන්තර කුලල් කා ගැනිල්ල ය. කුලල් කාගන්නේ ගිලිහෙන බලය වෙනුවෙන් ය. ඒත් එහි ප‍්‍රතිඵලය සියල්ල එළියට ඒමය. ඒවා හෙළිදරව් කරන අයව දේශද්‍රෝහීන් ලෙස හෝ කවර ලෙස හෝ හංවඩු ගසා මෙය කිසිසේත්ම වැළැක්විය  නොහැක. ලෝක දේශපාලන ඉතිහාසයේත් ලංකා දේශපාලන ඉතිහාසයේත් යථාර්ථය මෙයයි.

අද ආණ්ඩුව පත්වී ඇති සැබෑ තත්වය මෙයයි. මතුපිටින් ආණ්ඩුව කොතරම් ශක්තිමත් යැයි පෙන්වන්නට උත්සාහ දැරුවත් ඇත්ත තත්වය මෙයයි. එය පොල්කට්ටෙන් වහන්නට  බැරිය. නාමල් ළමයාව ඊළඟ ජනාධිපතිවරණයට ගේන්න හදන උත්සාහයත් එක්ක මේ ගැටුම තවත් උත්සන්න වී ඇත. රටේ ජනතාවගෙන් එන විරෝධයත් පවුල් පාලනයත් යන දෙකම ඇතුළෙ අවුලට බලපා ඇත. ඇතුළෙ ලොකු අවුලක්; ඇතුළෙ ලොකු අවුලක් යැයි හමෝම කියන්නේ ඒ නිසාය. ලොකු අවුල බේරන්නට කරන ප‍්‍රකාශ ඊටත් වඩා අවුල් හදන්නේ ය. බදුල්ලෙ ඩිලාන් ගැන කියපු කතාවත් එහෙම එකක් ය. බේරුවල ගැටුම ගැන මහින්ද කිව්වේ මේක සුළු ප‍්‍රශ්නයක් කියාය. ජීවිත දේපළ විශාල ලෙස හානි වුණු අලුත්ගම සිද්ධිය සුළු එකක් යැයි කීමෙන් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වී අත. ඒ වගේම එක එක ඇමැතිවරයාට අනිත් අය ගැන කියපු දේවල් ද අද පෙරලා අතුළෙ අවුලට බලපා ඇත. අත්තටම ඒ දේවල් කියා ඇත්තේ එක එකා කෙටවීමට ය. නමුත් දැන් සිදුව ඇත්තේ කොටවන්නට කියපු එවුන් එකට එකතු වීමය.

මේ තත්වය දිහා බලද්දි ආණ්ඩුව පිරිහෙන වේගයට ඇතුළෙ කචල් තව තවත් උග‍්‍ර වන්නේය. ඡන්දය ප‍්‍රකාශයට පත් කළ විට මෙය තවත් හොඳට එළිපිට ම දැක ගන්නට හැකියි. රටේ ප‍්‍රශ්න විසඳන්නට බැරිව අනාගන්නකොට මෙය බලාපොරොත්තු විය යුතුය. දැන් එය සිදුව අවසානය. දැන් ඇත්තේ ඇතුළෙ අවුල ජනතාවට වාසිදායක ලෙස පෙරලා ගන්නට උත්සාහ ගැනීමය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්