අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බවත්, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්රියාත්මක කරන බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසූවේ, පුත්තලම දිස්ත්රික්කයේ ඉදිරි අධ්යාපන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුත්තලම කලාපයේ අධ්යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමග පුත්තලම දිසාපති කාර්යාලයේ ප්රධාන ශ්රවණාගාරයේදී අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“මෙම අධ්යාපන ප්රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා, ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. මෙවැනි බරපතළ ක්රියාවලියකදී සුළුතර කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොතකා, රජය හා නිලධාරීන් අතර ඇති අන්යෝන්ය විශ්වාසය ඉදිරියටත් පවත්වාගත යුතුයි. මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන, සමස්ත රටේම ඉදිරි අනාගතය තීරණය වන ක්රියාවලියක් බැවින් ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම අත්යවශ්ය යි.
අධ්යාපන පරිවර්තන ක්රියාවලියේ විශේෂ වැඩසටහන්වලට අප මුදල් වෙන් කරලා තියෙනවා. යටිතල පහසුකම් ඇතුළු ඩිජිටල් අධ්යාපන පහසුකම් වන අන්තර්ක්රියාකාරී තිර සහ අන්තර්ජාල සබඳතා ලබාදීම මුල් මාස දෙක ඇතුළත තෝරාගත් ද්විතීයික පාසල්වලට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අපට අනුමැතිය ලැබුණා. එහි පවතින වයස් සීමා ගැටලු නිරාකරණය කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට සැලසුම් කරනවා. නායකත්ව ගුණාංග ඇති අය පාසල් පද්ධතියට අවශ්යයි. එවැනි අයට මම ආරාධනා කරනවා මෙම ක්ෂේත්රයට පිවිසෙන්න කියා.
එසේම, සංවර්ධනය කිරීමට තෝරාගත් පාසල්වල යටිතල පහසුකම් පමණක් නොව දරුවන්ගේ පහසුව, ප්රවාහනය සහ සෞඛ්ය වැනි දෑ සම්බන්ධවත් සමස්ත සැලසුමක් සකස් කරන්න. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට දිස්ත්රික් සම්බන්ධීකරණ කවුන්සිලයට යොමු කරන්න. ගුරු පුහුණු මධ්යස්ථාන ආරම්භ කිරීම, විද්යාපීඨ ප්රතිසංස්කරණය කිරීම වැනි මානව සම්පත් ගොඩනැගීමේ වැඩසටහන්ද අප ආරම්භ කර තිබෙනවා.”
දරුවන්ගේ ජල හා සෞඛ්ය පහසුකම් නංවාලීම සඳහා මූල්ය ප්රතිපාදන වෙන්වී ඇති අතර ඊට අදාළ සැලසුම් සකස් කොට නුදුරේදීම ක්රියාත්මක කරන බවත් ප්රාථමික පාසල් සහ සිසුන් 50ට අඩු පාසල් සංවර්ධන ක්රියාකාරකම් ඉදිරියේදී ක්රියාත්මක කරන බවත් නිලධාරීහු අගමැති හමුවේ පැවසූහ.
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ගයාන් ජානක, අජිත් ගිහාන්, මොහොමඩ් ෆයිසාල්, හිරුණි විජේසිංහ සහ පුත්තලම දිස්ත්රික් අධ්යාපන අධ්යක්ෂක, කලාප අධ්යාපන අධ්යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ කන්යා සොයුරියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

















