නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත් එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා පවසයි.
ඊයේ (08) දින කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර නිරෝධායන නීති කඩකළ බව පවසමින් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් පොලිසිය භාර ඇමතිවරයාගෙන් මේ පිළිබඳව අද (09) දින පාර්ලිමේන්තුවේ නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සරත් වීරසේකර ඇමතිවරයා….
” නීතිය කඩ කරනවා නම් තරාතිරම කුමක් වුවත් ක්රියා කරනවා . සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් රැස්වීම් උද්ඝෝෂණ තියන්න අවසර දෙන්න එපා කියලා පොලිස්පතිතුමාට කියලා තියෙනවා. උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා. නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්ය නිලධාරීන්. අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්ය නිලධාරීන්ගේ උපදෙස් අනුව. මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ . ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා .මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි. මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි. කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ. නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.










