“දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙවර නිදහස් උත්සවයේදී අදිටන් කර ගනිමු” යෑයි අගමැති රනිල් වික්රමසිංහ මහතා 68 වැනි නිදහස් සමරුව වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
“සදාචාරසම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින් “එකම දැයක් – මහ බලයක්” තුළ සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද ජයග්රහණයකි.
ඒ දිනාගත් නිදහස වඩාත් තිරසාර අර්ථසම්පන්න නිදහසක් බවට පත්කරගැනීමේ වගකීම දැන් අප සැම සතුය. ඒ සඳහා ජාති ආගම් පක්ෂ පාට බේදයකින් තොරව සමස්ත ශ්රී ලාංකීය ජනතාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.
ජාත්යන්තරය ඉදිරියේ මානව හිමිකම් සුරකින, නිදහස්, ගෞරවනීය රටක් ලෙස අපි නැවතත් අපගේ අනන්යතාව තහවුරු කරගනිමින් සිටිමු. නීතිය, සාමය හා සංහිඳියාව සුරකිමින්, දියුණු සමාජ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩනැංවීමේ භාරදූර කර්තව්යයද අප ඉදිරියේ ඇත.
මේ සමස්ත ක්රියාදාමය තුළ තම භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින් දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙම නිදහස් දිනයේ දී විශේෂයෙන් අදිටන් කර ගනිමු.”









