වතුකරයේ පත්වීම් 3021ක් නොසලකා හැරීම ගැන ලංකා ගුරුසේවා සංගමයෙන් අනාවරණයක්

වතුකරයේ පත්වීම් 3021ක් නොසලකා හැරීම ගැන ලංකා ගුරුසේවා සංගමයෙන් අනාවරණයක්

දෙමළ මාධ්‍ය ගුරු සහායක පත්වීම් ස්ථිර කිරීමේදී වතුකරයේ පත්වීම් 3021ක් නොසලකා හැරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමය විසින් අනාවරණය කරයි. මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක්ද යොමු කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

ගරු අධ්‍යාපන අමාත්‍ය,

අකිල විරාජ් කාරියවසම් මහතා,

අධ්‍යාපන අමාත්‍යංශය,

ඉසුරුපාය,

බත්තරමුල්ල.

අමාත්‍යතුමණි,

දෙමළ මාධ්‍ය ගුරු සහායක පත්වීම් ස්ථිර කිරීමේදී වතුකරයේ පත්වීම් 3021 ක් නොසලකා හැරීම සම්බන්ධවයි.

උතුරු/නැගෙනහිර හා වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ පැවති බරපතල ගුරු හිඟයට පිළියමක් ලෙස ලබාදුන් ගුරු සහායක හා ස්වේච්ඡා පත්වීම් අතරින් 2015 වර්ෂයේදී වතුකරයේ පාසල් සඳහා ලබාදුන් ගුරු සහායක 3021ක පත්වීම් නොසලකා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මැදිහත්වීමෙන් උතුරු නැගෙනහිර පත්වීම් 1019කට පමණක් ජූනි 27, අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ස්ථිර පත්වීම් ප‍්‍රදානය කිරීම සම්බන්ධව දැඩි විරෝධය පලකරන ලංකා ගුරුසේවා සංගමය වතුකරයට ලබාදුන් පත්වීම් ද ස්ථිර කිරීමට වහා පියවර ගන්නා ලෙස බලකර සිටිමු.

  1. උතුරු/නැගෙනහිර හා වතුකරයේ පාසල්වල මෙම ගුරු සහායක පත්වීම් ප‍්‍රදානය කළ මුල් අවස්ථාවේ අප සංගමය සොච්චම් දීමනාවක් මත මෙවැනි පත්වීම් ලබාදීමට විරෝධය පලකළ අතර ඔවුන් සුදුසුකම් මත ශ‍්‍රී ලංකා ගුරුසේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට බලකළෙමු. නමුත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකළ අතර වසර ගණනාවක් පුරා ලබාදුන් දීමනා ඔවුන්ගේ මූලික දෛනික කටයුතු පවා සිදුකර ගැනීමට ප‍්‍රමාණවත් නොවන බවද අප අවස්ථා ගණනාවකදී පෙන්වා දීමට කටයුතු කළෙමු. මෙම ඉල්ලීම් දිනාගැනීම සඳහා අප සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටද කටයුතු කළ බවද ඔබ හොඳින් දන්නා කරුණකි.
  2. එබැවින් පටු දේශපාලන වුවමනාවන් පසෙක තබා ඉතා දුෂ්කර තත්වයන් යටතේ අන්ත දරිද්‍රතාවයෙන් පීඩා විඳින වතුකරයේ ග‍්‍රාමීය ජනතාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙම ගුරුවරුන්ගේද පත්වීම් වහා ස්ථිර කර දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අප සංගමය සාධාරණ කාලයක් තුළ ඒ සඳහා පියවර නොගන්නේ නම් නැවත දැනුම්දීමකින් තොරව අසාධාරණයට ලක්ව සිටින එම ගුරුවරුන් සමඟ වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරන බව දැඩිව අවධාරණය කරමු.

ස්තූතියි.

මෙයට,

විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ

ප‍්‍රධාන ලේකම්

ලංකා ගුරුසේවා සංගමය

  1. 06. 27

පිටපත්  –

  1. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන අමාත්‍යාංශය
  2. ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය
Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්