ශ්රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (29) ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මගින් ශ්රේෂ්ඨාධිකරණය වෙත ලැබීමට සලස්වන්නැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කථානයක චමල් රාජපක්ෂ මහතාගෙන් ඊයේ (30) ඉල්ලා සිටියේය.
අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ දෝෂාභියෝගය සලකා බැලෙන තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට සහ කථානායකවරයාට ශ්රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා මතු කළ වරප්රසාද ප්රශ්නයට කථානායකවරයා පෙරේදා (29) සවස තීන්දුවක් ලබා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් ඊයේ (30) කරුණු දැක්වූ ජෝන් අමරතුංග මහතා තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් තමන්ට නොතීසි මිටි ගණන් ලැබෙන බැවින් එම තීන්දුව ශ්රේෂ්ඨාධිකරණයේ දැන ගැනීම සඳහා යවන්නැයිද ප්රකාශ කළේය.
පාර්ලිමේන්තු කටයුතු සඳහා බාහිර ආයතනයන්ට මැදිහත්විය නොහැකි බවට කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද තීන්දුව ඓතිහාසික බවද ඒ මහතා කීය.
ජෝන් අමරතුංග මහතාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව කථානායකවරයා පැවැසීය.









