මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්ෂග්රාහීව කටයුතු කරන සහ නීතිය අවභාවිතාවේ යොදවන පොලිස් ස්ථානාධිපතිවරුන් වහාම එම පොලිස් බල ප්රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව පොලිස් මැතිවරණ කටයුතු භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.
මෙම නිලධාරීන් මාරුකර යවා ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කරන බව හෙතෙම කියා සිටියේය.
පක්ෂග්රාහීව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරුන් කීපදෙනකු පිළිබඳ මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද නවරත්න මහතා කියා සිටියි.
අපේක්ෂකයන්ට පක්ෂව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරුන් පිළිබඳ තොරතුරු වෙතොත් තමන් වෙත වහාම දැනුම් දෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටී.









